සිත් අහසට පෑයූ පුන් සඳ 2


කවුරුහරි හීන මවපු රූපේ එයාට දකින්න ලැබෙනවා නම්, ඇස් මානෙ හැමදාමත් ඒ රූපේ ‍රැදෙනවා නම්... ඒ තරම් සතුටක් තව කොහෙන්ද?..

පරිපූර්ණ වූ ප්‍රේමය,
හඳුනා ගත් කල හදවත,
ඒ පෙමට හිමි හිත ගැන
ගොතන්නට බෑ කවි පද..

ගාල්ලට ඇවිත් බහිද්දිත් එයා ලස්සන හිනාවකින් මට සංග්‍රහ කරලයි බස් එකෙන් බැහැලා ගියේ.
එදා ඉතින් චතූට නම් කනක් ඇහිලා ඉන්න වුනේ නෑ.

"එයා අරමයි, එයා මෙහෙමයි, මොනවද අනේ. අද වෙන කතා කරන්න දෙයක් ඇත්තෙම නැද්ද, පන්තියේ උගන්නපු දේවලුත් එයා ඇදපු ෂර්ට් එකේ පාටයි, එයා හිනා වුන විදියයි වගේ මතක නොතිබ්බොත් නම් ඉතින් මගෙන් අහගන්න තමයි වෙන්නේ ඔයාගේ dream boy , ඊටත් එක දවසක් දැක්ක පලියට ඔය කොල්ලෝ කව්ද කියලා අපි දන්නවද? "

ලොකු දේශනාවක් දෙන්න පටන් ගන්න ගමන් චතූ කෑ ගහන්න ගත්තා.

"ඒත් මෝඩියේ, ඔයාට තේරෙන්නෙ නෑ. මම හීන මවපු කෙනා මගේ ඉස්සරහ ඉද්දි මම කොහොමද ඒක ගනන් නොගෙන ඉන්නේ"

චතූට එහෙම කියපු මම කටවහගත්තා,
එයා කියන කතාවත් ඇත්ත තමයි,.
චතූ මගේ හොඳම යාලුවා නිසා මගේම සහෝදරියක් වගේ මට ආදරෙයි, මට පොඩි හරි දුකක් වෙනවට එයා කැමති වුනේ නෑ..
ඒත් වෙන්න තියෙන දේවල් නවත්තන්න පුළුවන් කාටද?
එදා ඉදන් මම අපි දෙන්නා ගැන හීන මැව්වා, වෙන හැම කෙල්ලෙක්ම වගේ..
එයා මා එක්ක හිනා වෙන වාරයක් ගානේ, මගේ දිහා බලන වාරයක් ගානේ, කොහෙදෝ නොදන්න ඈතකට මගේ හිත පාවෙනවා.

ඒත් දවසක්...


 " ඒයි, අන්න ඔයාගේ අර හීන කුමාරයා කෙල්ලෙක් එක්ක එනවා
චතූ එහෙම කියන්නත් කලින් මම ඒක දැකලා ඉවරයි..

"මම දැක්කා අනේ, එයාගේ නංගි කෙනෙක් වෙන්න ඇති"

හිතට දුකක් ආවත් ඒක පිට කරන්නේ නැතුව මම මගේ හිතම රවට්ටගත්තා.

".. නංගිලාගේ අතින් අල්ලගෙන A/L පන්ති එක්කන් එන අයියා කෙනෙක් මම දැක්කාමයි, අනේ මේ. ඔය කතා හොඳයි කොන්ඩේ බැඳපු චීන්නුන්ට, තාමත් ඔයාට බැරි වුනාද තේරුම් ගන්න,. දැන්වත් ඔය විකාර හිතෙන් අයින් කරගන්න. පේන්නේ නැද්ද හලෝ දෙන්නා යන හැටි."

එහෙම වෙන්න පුළුවන්ද?
එයාට මට එහෙම කරන්න පුළුවන්ද?,.
නෑ නෑ,.. කීයටවත් එහෙම වෙන්න බෑ
මගේ හිත මාත් එක්ක තර්ක කරන්න පටන් ගත්තා. මට නොදැනුවත්වම ඇස් වලින් කඳුලු ගලාගෙන ගියා.මගේ හීන ඔක්කොම බිඳුනා, එදා තරම් මගේ හදවත කඩා වැ‍ටුන දවසක් මගේ ජීවිතේ ආයෙමත් තිබුනේ නෑ.එයා වෙන කෙනෙක්ගේ වෙලා
එදා තරම් චතූගෙන් බැනුම් අහපු දවසකුත් ආයේ තිබුනේ නෑ,

හරි නේ, මම කිව්වා ඕනෙවට වඩා කරට ගනිද්දි ඔහොම වෙයි කියල. අපි කියන දේවල් අහන්නේ නෑනෙ ඉතින්.

එහෙම කිය කියා මගේ වැටෙන කඳුලු පිහදාන ගමන් එයත් අඬනවා. අනේ... මම මොනව කරන්නද?...
එයත් ගොඩාක් අසරණයි කියලා මට තේරුනා. මවපු හීන ඔක්කොම ඇස් ඉස්සරහම කඩාගෙන වැටෙද්දි මගෙ තනියට හිටියෙ මගේ කඳුලු විතරයි. ඒත් එයා ගොඩාක් සතුටින් නේද කියලා හිතලා මම හිත හදා ගත්තා.
ඒත් එයාව දකින දකින වාරයක් ගානේ හැමදාමත් ඒ වේදනාව විඳින්න මට සිද්ධ වුනා.

කාලය ඔය විදියට ගත වෙලා ගියා, ජීවිතය හරිම ඒකාකාරියි, පන්ති වලින් තොර ජීවිතයක් අපිට තිබුනෙම නැති තරම්. මේ වෙද්දි එයා ගැන මගේ හිතේ තියෙන ආදරේ එලියට නොපෙන්නා ඉන්න මට ගොඩාක් අමාරු වුනා. ඒ ගැන නොදන්න කෙනෙක් මගේ යාලුවො අතරෙ නම් හිටියෙ නැති තරම්.

ඔයා ____ ට කැමතියි නේද? ඕනේ නම් මම සෙට් කරලා දෙන්නම්. 

ඉස්කෝලෙදිත් මම හැම වෙලේම එයා ගැනම කියවන බව අහන් හිටපු මගේ යාලුවෙක් මගෙන් දවසක් එහෙම ඇහුවා.

ආදරේ බලෙන් ලබාගන්න පුලුවන් දෙයක් නෙවෙයිනේ, ඊටත් එයා වෙන කෙනෙක්ගේ, එයාට දුකක් දීලා මම _____  ව අයිති කරගෙන වැඩක් නෑනේ

එහෙම කියලා මම ඒ ප්‍රශ්නෙන් මඟ ඇරියා.
ඒත් මේ කිසිම දෙයක් එයා දැනගෙන හිටියේ නෑ,, එයා හැමදාමත් අහිංසක විදියට හිනා වුනා විතරයි මා එක්ක. එයා වෙන කෙනෙක්ගේ වුනත් ඒ හිනාව ඉස්සරහ මුලු ලෝකයකම මගේ ගාව වගෙයි මට දැනුනේ. ඔය කාලෙම වගේ අපෙ පන්තියෙන් සිල් වැඩසටහනක් සංවිධානය වුනා. එදා තමයි එයා මුලින්ම මාත් එක්ක කතා කරේ. එයාගේ අතේ තිබුනේ ලස්සන නෙළුම් මලක්, ඒ නෙලුම් මලේ තිබුන පිණි බිංදු මගෙ මූණට ඉහින් ගමන් අහිංසක විදියට හිනා වෙලා එයා කිව්ව වචන මට තාමත් මතකයි

"ඔයා අද මේ නෙළුම් මල වගේම ලස්සනයි, ළමා සාරිය නිසා ඔයා දහම් පාසල් යන පුංචි නංගියෙක් වගේමයි"

ඒ වචන අහලා මගේ ඇස් වලින් වැ‍ටුන කඳුලු මූණට ඉහුන පිණි බිඳු නිසා එයාට නොපෙනෙන්න ඇති. නැත්නම් දැකලත් නොදැක්ක ගානට ඉන්න ඇති. ඒත් එදා ඒ වචන වලින් එයාගේ ආදරේ මට දැනුනා. හිමි නොවුනත් එයා මගේ ලඟ නිසා මම සතු‍ටු වුනා. හිතට වේදනාවක් දැනුනත්, කොයි තරම් කඳුලු ගැලුවත් ඒ වේදනාවට කඳුලට වඩා එයා වෙනුවෙන් මගේ හිතේ තිබුන ආදරේ ඉස්මතු වුනා. වෙන කෙනෙක්ගෙ වුන එයාට මම හැමදාමත් ආදරේ කලා. පන්තියේදි දවල්ට කෑම කන වෙලාවට හැමදාමත් එයා අපේ ගාවට ඇවිත් එක බත් කටක් හරි කාලා යනවා. ඒකට හේතුව අදටත් මම දන්නෙ නෑ.
හිතේ දුක නිවාගන්න මම කවි ලියන්න පටන් ගත්තා. මගෙ කුලුදුල්ම කවිය ලියවුනේ එයා වෙනුවෙන්, මට හිමි නොවුන බව මම දැන දැනත් ආදරේ කරපු ඒ අහිංසක හිනාව වෙනුවෙන්.

ගිලන් වූ රිවි කිරණ
සිතිජයේ ඉම වසා,
සැඟව ගිය මොහොතකදි
මැවුන ඒ රූ රටා,
පෙර දිනක මතකයන්
සොදුරු නුඹ ගැබ පුරා,
විසුරුවා හරිද්දී
සොයමි නුඹෙ රුව එතුල,.
නෙතු වලට නිදි නොමැත
දෙනෙත් පිය බොඳ වෙලා,,
මතක මං පෙත පුරා
ඔබෙ සුවඳ තැවරිලා,.
නමුදු නොදනිමි සුවඳ,
‍රැගෙන ඔබ කොහි ගියේ,
යලිත් එනු මැන මගේ ,
හදෙහි ‍රැදි සුසුම සේ,..


CONVERSATION

10 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. ලස්සනයි..හිතට ගොඩක් දැනෙනවා..විඳපු දෙයක් වගේ දැනෙනවා..මටම

    ReplyDelete
  2. මට නම් ඇඩුනා..කෑ ගහල අඩන්න හිතෙනවා.. ඒත් බෑ.. මම ඉන්නෙ ක්ලාස් එකේ නිසා.. මට මෙච්චරම දුක හිතුනේ මගේ කතාවත් ඕකම නිසා.. මගේ පලමු පෙම.. ඔයාගේ පොස්ට් එක කතා කලේ මගෙ හදවතට.. මට හිතුන මගේ කතාවත් ලීව නම් හොදයි කියල.. ඉක්මනටම ලියන්නම්...

    ReplyDelete
  3. @ජනරජ- හ්ම්ම්... කතාව ලස්සන වුනත් ඒ දැනෙන හැගීම නම් ලස්සන නෑ සහෝ..
    බොහෝම ස්තුතියි

    @චතූ- ඉක්මනටම ලියන්න චතූ, අපි මේ ලෝකේ කොහේ හිටියත් හැමෝටම පොදු වුන එක කථාවක් අපි හැමෝගෙම කතා වල හැංගිලා තියෙනවා. බ්ලොග් අවකාශයේ සැරිසරද්දි අපිට හම්බ වෙන්නේ ඒ දේවල් නිසා ජීවිතෙ විඳින ,විඳවන සොඳුරු හදවත්

    ReplyDelete
  4. ගොඩක්ම ලස්සනයි.
    මට ආයෙම මතක්වෙනව ඒ කාලේ...

    ReplyDelete
  5. හ්ම්ම්ම්ම්ම්....... මොනවා කරන්නද. අපිට අයිති නැති අය අයිති අයටම දෙන එක තමා ගොඩක්ම හොඳ.

    ඉතින් ප්‍රාර්ථනා...........

    ReplyDelete
  6. @නෙත්පානි- ස්තුතියි යාළු, මමත් අපේ ඒ කාලෙට ගොඩාක් ආදරෙයි, ආසයි,..

    @හා පැටික්කි- හ්ම්ම්... ඔව්, ඒත් මේක් අවුරුදු 7ක් දිග කතාවක් හා පැටික්කියෝ.. වෙන දේ බලන්නකෝ.. :)
    තව එක කොටසකින් වගේ මම කතාව ඉවර කරනවා. මම දිගට ලියන්න නම් දන්නේ නෑ... :D

    ReplyDelete
  7. නියමයි.. ගොඩක්ම ලස්සන කතාවක්. දුක්බර උනත් අපි හැමෝගෙම ජීවිතේ මේ වගේ කතා අති. සුබ පතනවා.

    ReplyDelete

Back
to top