සිත් අහසට පෑයූ පුන් සඳ අවසාන කොටස


ආදරයක් අහිමි වුනාම දැනෙන වේදනාව විඳගන්න ගොඩාක් අමාරුයි,ඒ ආදරේ වෙන කෙනෙක්ගේ වෙනව බලන් ඉන්න එක ඊටත් වඩා දුකක්.
එහෙම වුනත් මගේ අහිමි වුන පෙමට මම ආදරේ කලා,තව තවත් එයාට ලං වුනා.අදටත් ඒ වගේ කෙනෙක් දකිද්දී එයාගේ රූපෙ මට මැවිලා පේනවා. අවුරුදු 2කින් එයාව නොදැක්කා වුනත් ඒ මූණ, ඒ අහිංසක හිනාව ඒ විදියටම මට තාමත් මතකයි. තනි වුන හැම මොහොතකමඅඬන්න උරහිසක් ඕනේ වුන හැම වෙලාවකම මට තාමත් එයාව මතක් වෙන්නේ ඇයි කියලා මම දන්නේ නෑ. මේ කාලය ඇතුලත මගේ ජීවීතේට කොයි තරම් අය ආවත් ගියත් එයා හැමදාමත් එක තැනක නතර වෙලා. කවදාවත් එයා වෙනුවෙන් මගේ හදවතේ තියෙන ඉඩ මකන්න කාටවත්ම බැරි වේවි.

මට එයා මුලින්ම මුණ ගැහුන දවසේ ඉදන් අවුරුදු දෙකක කාලයක් ගත වුනේ අපි කාටවත්ම නොදැනි, දවසින් දවස විභාගෙට දින ලං වෙද්දි, දවසින් දවස ______ ගැන මගේ හිතේ තිබුන ආදරේ වැඩි වුනා. ඒත් තවමත් එයා වෙනදා වගේම මාත් එක්ක අහිංසක විදියට හිනා වුනා විතරයි..

ඔය අතරෙදි එක දවසක් වුන දේකින් එයාගෙ වගේම මගෙත් මුලු ජීවිතේම වෙනස් වුනා‍, එයාගෙ අහිංසක හිතට ඒ සිද්ධිය දරාගන්න බැරි වෙන්න ඇති. එදා මම පන්තියේ බංකුවකට බර දීලා අඬද්දී, එයා ගියා, ආයෙ නොඑන්නම..
ඒත් යන වෙලාවෙත් මං වෙනුවෙන් එයාගේ මූණේ ඇඳුන ඒ ලස්සන හිනාවෙනම්  වෙනසක් වුනේ නෑ.
අන්තිමේ එයා විභාගෙවත් නොකර ගුවන් හමුදාවට බැදුනා, ඒ වෙද්දි උ/පෙ විභාගේ ඉවර වුනා විතරයි, දවසක් චතූ මට කරේ මම කවදාවත් අහන්න හිතපු නැති දෙයක් මට කියන්න,

"අන්න ඔයාගේ සිහින කුමාරයා තරූව කසාද බැදලාලු"

"මොනවා, මේ චතූ ප්ලීස් මාව විහිලුවකට නොගෙන ඉන්නවද? , ඔයාට නම් හැමදේම විහිලු"

"නෑ නෑ කෙල්ලේ ඇත්තමයි, ඕක ඉතින් වෙන්න තිබුන දේනේ? , මොකටද ඔයා තවත් එයා ගැන හිතලා දුක වෙන්නේ. අමාරු වුනත් එයාව අමතක කරන්නම වෙනවා ඔයාට.ඊටත් එයා කවදාවත් ඔයා ගැන හිතුවේ නෑනේ"

ඒත්... එයාට එහෙම කරන්න පුළුවන් කියලා ඔයා හිතනවද? මට මේ හැමදේම හීනයක් වගේ

ඔයා හිටියේ හීනෙක තමයි, ඒත් දැන්වත් ඇහැරෙන්න. එයාව අමතක කරන්න

ඒත් චතූ මොනවද දන්නේ, මම කොහොමද එයාව අමතක කරන්නේ. ඒක කරන්න බෑ, එහෙමයි මට එදා හිතුනේ.
තව අවුරුද්දක් ගත වුනා, මම විශ්ව විද්‍යාලෙට තෙරුනේ ඔය අතරේ.
දවසක් මම චතූ එක්ක ගෙදරින් එලියට බැස්සේ විශ්ව විද්‍යාලෙන් ඉල්ලල තිබුන ලියුම් වගයක් යවන්න ගාල්ලට යන්න හිතාගෙන. කාලෙකින් හම්බ වුන චතූට මගේ හිතෙ තිබ්බ දුක ඔක්කොම සොරොව්ව ඇරිය වගේ මම කියාගෙන ගියේ ඇස් වලින් වැටෙන කඳුලු බිංදු හංග ගන්න කිසිම මහන්සියක් නොගෙන. බස් එකෙන් බැහැලා ටික දුරක් ඇවිදගෙන යද්දී ඈත තියාම මම දැක්කේ හුරුපුරුදු හිනාවක්. ඔව්.... ඒ එයාම තමයි,. ඉදල ඉදලා ගෙදරින් එලියට ආපු දවසෙම එයාව හම්බ වුනේ හොඳකටද, නරකකටද කියලා මම අදටත් දන්නෙ නෑ.
සමහරවිට එයාව එදා හමුනොවුනා නම්...

දුර තියාම මාව අදුන ගත්ත ඒ අහිංසක හිනාව මගේ හදවත වෙනදා වගේම ආයෙමත් කොහෙදෝ ඈතකට පා කරලා ඇරියා.
එයා ඇවිත් මා ගාව නතර වුනා,. ඒත් මොනව කතා කරන්නද කියලවත් මට හිතාගන්න බැරි වුනේ මගේ හිත මගේ මනසට විරුද්ධව වැඩ කරන්න පටන් ගත්ත නිසා..
මේ එයාමද? තාමත් හිතා ගන්න බෑ,. ඔය අතරේ තමයි චතූ මගේ අත කෙනිත්තුවේ,

"මෝඩි, බලාගත්ත අත බලන් ඉන්නෙ නැතුව කතා කරනවා, එයා හිතයි ඔයාට පිස්සු කියලා"

මම කතාව පටන් ගන්නත් කලින් එයා කතාව පටන් ගත්තා,.

" කාලෙකින් ඔයාව දැක්කේ, කොහොමද ඉතින් ජීවිතේ, තාමත් ඉස්සර වගේ පිස්සු නටනවද? "

ඒ කියපු දේට හිනාවෙන්නද අඬන්නද? තාමත් මම දෙලොවක් අතර,. ඉදලා ඉදලා මතක් වුනේ එකම එක ප්‍රශ්නයක් නිසා පොඩි හිනාවක් දාලා ඒක අහලා දැම්මා..

"කොහොමද දැන් තරූ එහෙම, අපිට කිව්වෙවත් නැතුව හොරෙන්ම කසාද බැන්දානේ"

අනේ.. එහෙම කියපු ගමන් අර ලස්සන, අහිංසක හිනාව නැති වෙලා ගියා..

"ඒ හැමදේම ඉවරයි,. එයා මාව දාලා ගියා, දැන් මාස 3කටත් වැඩියි"

තවත් මොනව කියන්නද? ඒක දැනගත්තාම මට දැනුනේ සතුටත්, දුකත් දෙකම මිශ්‍ර වුන හැගීමක්,
මම ටිකක් ආත්මාර්ථකාමී වෙලා කලින්ම එයාව මගේ කරගත්තා නම් කියලා මට ඒ  වෙලාවෙ හිතුනා.
ඒත් මොනවා කරන්නද, හැමදාම වගේ එදත් මම ගොලු වුනා,. හිතේ ආදරේ තියාගෙනත් ඒ ආදරේ කියාගන්න මට බැරි වුනා,.මගේ ජීවිතෙ එක හීනයක් හැබෑ වෙද්දි, ඒ සුන්දර හිනාවට උරුම වෙන්න තිබුන සුන්දර ජීවිතේ තරූ උදුරගත්තෙ හිත් පිත් නැති විදියට,

ඉතින් මේ හැම දේම දැන දැනත් මම තව තවත් එයාට ආදරේ කරා. කවදාම හරි දවසක එයා මගේ ගාවට ඒවි කියලා මට විස්වාසයක් තිබුනා. ඒ නිසාම අවුරුදු 2කින් එයාව නොදැක්කත් එයාගේ හැම විස්තරයක්ම මම දැනගෙන හිටියා. ජීවිතේදි මට හමුවුන ගොඩාක් අය මගේ මතකයෙන් අත් ඇරිලා යද්දිත් එයාගේ මතකය හැමදාමත් හිතේ කොනක ගුලි වෙලා ආරක්ෂා වෙලා තිබුනා.
ඒත් අද....

මගේ යාළුවෙක් කියපු දේ මේ තරම් මාව රිදවයි කියලා මම හිතුවෙ නෑ.

"අන්න, ____  ලබන මාසේ කසාද බදිනවලු"

කාලෙකට පස්සේ එයා ගැන පලවෙනිම ආරංචිය විදියට ලැබුනෙත් ආයෙමත් මගේ හිත රිදවන දෙයක්. හැමදාමත් ඇයි මට එයා ගැන හිත රිදවන දේවල්ම දැනගන්න ලැබෙන්නේ,.ඒකට උත්තරයක් මට කවදාවත්ම ලැබෙන එකක් නැති වෙයි. ඒත්... ඉස්සර වගේම මම තාමත් එයාට ආදරෙයි.
අද මම දැනගත්ත දේ මට රිදුනත්, එයා සතුටෙන් නම් මට ඒ ඇති. අවුරුදු 6ක් තිස්සේ හිතේ තියාගෙන හිටපු ආදරේ එකම එක පාරක්වත් එයාට කියාගන්න වුනා නම් කියලා නොහිතුනාම නෙවෙයි.
ඇයි මට ටිකක් ඉස්සර වෙන්න බැරි වුනේ, මම එයාට ආදරේ බව නොදැනම එයා යන්න යනවා. මේ වේදනාව දිය කරන්න ගලන කඳුලු ඇති වෙයිද?
එක පාරක් එයාට එක පණිවිඩයක්වත් යවන්න කියල කියන මගේ හිතම ආයේ එහෙම කරන්න එපා කියලා මාව පස්සට අදිනවා.
ඒත් මගේ අසරණ හිත තාමත් ආශ්චර්යක් වෙනකන් බලාගෙන ඉන්නවා. අන්තිම මොහොතෙ හරි එයා ඒවි කියලා මගෙ හිත කියනවා,
ඒත්..
එහෙම වෙන්නෙ නෑ. කවදාවත්ම වෙන්නේ නෑ.
අපේ ජීවිතේ හීනයක් නෙවෙයි, ඒ නිසා මට මේ හීනෙන් ඇහැරෙන්නම වෙනවා. කොයි තරම් සුන්දර වුනත් අවුරුදු 6ක් තිස්සෙ මම දැකපු හීනේ අවසානයට දැන් ගොඩාක් ලඟයි.
ඊට කලින් එක දවසකටවත් ,
අනේ,..
මම ඔයාගේ වුනා නම්.... ඔයාගේ ඔය ලස්සන හිනාව එකම එක පාරක්වත් ආයේ දැකගන්න පුලුවන් නම්,.

හිත ඇතුලේ හීන් සීරුවේ නිදාගෙන හිටපු එයාගේ මතකයන් එකින් එක ආයේ ඇහැරෙන්න පටන් අරන්,. ඒත් ඒ හිනාවවත්, ඒ අහිංසක මූනවත් ආයේ කවදාවත්ම මට දකින්න වෙන එකක් නෑ,. දැක්කත් ඒ හිනාව මම වෙනුවෙන් හෙලන හිනාවක් නොවේවී.ඒත්,අකමැත්තෙන් වුනත් මට එයාට සමුදෙන්න වෙනවා, අදත් එයා මාව දැක්කොත් මේ වැහි බිඳු නිසා මගේ ඇස් වලින් ගලන කඳුලු එයාට පේන එකක් නෑ. ඉතින් මම එයාට සමුදෙනවා. ගලන වැහි බිඳු මගේ දුක සෝදා දැමුවාවේ, අහසට ඕනේ තරම් මාත් එක්ක ඇඬුවාවේ, සදාකාලිකවම මම එයාට සමුදෙනවා.
ඒත් ...
හැමදාටම එයා නොමැකෙන මතකයක් වෙලා මගේ හිතේ ‍රැදේවි..


සිහින නොදු‍ටුව මගේ දෙනයන
සිහිනයක් වී ආ කුමරු ඔබ,
සැබැවින්ම දු‍ටු දින,
හද කුසුම වීය විකසිත,,
ලියූ ඒ පද වැලට,
මා සෙවූ තනුව ඔබ,.
නමුදු..
අහිමි හුස්මක් වීය
මා ළය මඬලට ඔබ,
වෙන හදවතක් මත
සීරුවට සැතපුණ,.
සය වසක් පුරාවට
යලි නොඉල්ලා දුන්
මගේ ප්‍රේමය,.
නොදැනුනේ නුඹට,
සිත ඇගේ නිසාවට..
ඇයද හැර ගිය දින
ගොලු වූ මා මුවග
නොකියූ වදන්
සඟවන්න බෑ තව...
ඒත්
යලිත් නුඹ
සදහටම අන්සතු වේය
හෙට දින..
කඳුලු අතුරා තනමි පාවඩ,
ඔබේ දිවිමග සරු කරන්නට
කවියකින් හෝ කියමි මගේ පෙම..
දරාගන්නට නොහැක මට තව,,
ඉතින්..
සමුදෙන්නෙමි ඔබට,
සිතින් නොව ගතින් පමණක්..
සදහටම.......


CONVERSATION

27 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. අප්පච්චියෝ..... මේක කතාව අවසාන කොටසනේ. ඉතුරු කොටස් ටිකත් කියවලාම එන්නම්.

    ReplyDelete
  2. අනිත් කොටස් කියලා කොටස් ගොඩාක් නෑ .. හී හී. කොටස් 3යි, කියවලා හොඳ නරක කියන්නකො එහෙනම්.. :D

    ReplyDelete
  3. අදහසක් කියන්න කලින් අහන්නේ......ඇත්තම කතාවක්ද?

    ReplyDelete
  4. හිතෙන්නෙ එකම දෙයයි අක්කේ......
    මම 10,15 වතාවක් ට්‍රයි කරලා මගේ කෙල්ලගෙන් වචනයක් ගත්තෙ නැත්නම් එයාත් කවද හරි දවසක මේ වගේම ආදරේ හංගගෙන ඉඳල විඳවන හැටි ලියාවි...
    සත්‍ය ආදරේ ජයගනීවි අක්කේ.කවද හරි.කවමදාක හරි.ලබන ආත්මෙ හරි ඔයාට එයාගෙ වෙන්න වාසනාව ලැබෙන්න කියල පතනව.
    ----------------------------------
    අද මේ කතාව කියවල කෙල්ලො ගැන අලුත්ම පාඩමක් මම ඉගෙන ගත්ත.ජීවිතේට අලුත්ම පාඩමක්...

    ReplyDelete
  5. @පූසා-හ්ම්ම් ඔව්. ඇත්තම කතාවක්..

    ReplyDelete
  6. @කුරුං ගුරුං- ඔව් මල්ලියා, සමහරවිට ඔයාට ඇත්තටම ආදරේ කරන කෙල්ලෙක් නම් අනිවාර්යෙන් පසුතැවේවි මල්ලී,. ඔයාට වුනත් පසුතැවෙන විදියේ වැඩ කවදාවත්ම කරන්න එපා. අවංක ආදරයක් ඔයා ගාවට එන්නේ මුලු ජීවිතේටම එකම එක පාරක් වෙන්න පුලුවන්,
    ඔයාගේ ප්‍රාර්ථනාවට ස්තූතියි මල්ලියා,.

    ඔයා ඉගෙනගත්ත අළුත්ම පාඩම මොකක් වුනත් ඒක හොඳ දෙයක් වෙන්න ඇති කියලා මම හිතනවා.. ස්තුතියි මල්ලියා

    ReplyDelete
  7. මගේ බ්ලොග් එකේ මම ලිව්වා මගේ පළවෙනි ආදර කතාව. මටත් එයාව නොලැබෙන්න ආසන්නම හේතුව විදිහට මම දකින්නේ ආදරේ හිතේ තියාගෙන ගොඩක් කල් හිටපු එක. ඒ කිව්වේ මම පරක්කු වුනා. කෙල්ලෝ කොහොමත් ආදරේ මුලින්ම එළියට දාන්න බයයි.
    දවසක් කෙල්ලෙක් මට කියනවා :අපි කොහොමද ගිහින් කොල්ලෙක්ට ආදරෙයි කියන්නේ එතකොට එයා හිතයි මම මහ නැහැදිච්ච කෙල්ලෙක් කියලා"
    බම්බුව! ඇයි කොල්ලෙක්ට කෙල්ලෙන් ගැන කැමත්තක් ඇති වෙනවනම් කෙල්ලෙක්ට කොල්ලෙක් ගැන කැමැත්තක් ඇති වෙන්න බැරිද?
    මම නම් හිතට ගත්තු දෙයක් තමයි ආයෙනම් මොනදේ වුනත් පරක්කු වෙන්නෙ නම් නෑ කියන එක.
    හිතට ගත්තට ක්‍රියාවට නංවන්න තාම හොඳ කෙල්ලෙක් හම්බවුනේ නම් නෑ :D

    ReplyDelete
  8. කතාව ගොඩාක් හොඳයි,ඒත් ඉවර වුණ විදිය ගොඩක් දුකයි ප්‍රා.. හැමදාමත් වගේ, 'මැජික්' එකක් වෙලා මේ කතාව ලස්සනට ඉවර වෙන්න කියල මං ප්‍රර්ථනා කරනවා! :)

    ReplyDelete
  9. @පූසා- මෙහෙමයි සහෝ, සමහර කොල්ලෝ ඉන්නවා එහෙම කෙල්ල ආදරෙයි කිව්වම කොහොමත් කැමති නිසා යාළු වෙලා ටික කාලයක් ඉඳලා අත් අරින. එහෙම කෙල්ලොත් ඉන්නවා. ඉතින් කෙල්ලෙක් කොහොමද දැන ගන්නේ එ ගැන, ඊටත් මෙතන කථාව වෙනස් නේ. කොල්ලාට වෙන කෙල්ලෙක් ඉන්නවා, එහෙම ඉද්දී ආදරේ ප්‍රකාශ කරන්නෙ කොහොමද? ඒක ඒ දෙන්නටම කරන අසාධාරණයක්,. ඒ වගේම ඒ කොල්ලා එක්ක තියෙන යාළු කමත් නැති වෙන පොටක්. යාළුවෙක් විදියට හරි ළඟින් ඉන්න ලැබෙන එක සතුටක් ඒ වගේ වෙලාවට..

    එහෙනම් ඔන්න ඉතින් හොඳ කෙල්ලෙක් ඉක්මනටම ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා.. :D

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. @ආශා- ස්තුතියි මිතූ.. මාත් බලාපොරොත්තු වුනා ඔය මැජික් එක වෙයි කියලා,ඔයා ඒක හොඳටම දන්නවනේ,.. ඒත්...

    ReplyDelete
  12. අක්කිගේ ලස්සන හිතට ලස්සනම ලස්සන හිමි කාරයෙක් ඇති.. එයාව ඉක්මනට මුන ගැහිලා දෙන්නට පිස්සුවෙන්ම ආදරේ කරන්න ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මං ප්‍රාර්ථනා අක්කිට.. දුකක් හිතට දැනිලා මගේ.. මමවත් දන් නෑ ඒ ඇයි කියලා...

    ReplyDelete
  13. ස්තුතියි මල්ලියෝ.. හ්ම්ම්. මේ ජීවිතේ හැටි ඔහොම තමයි. කරන්න දෙයක් නෑ.. දුක සතුට හැමදේම උරුමයි අපිට මල්ලියෝ..

    ReplyDelete
  14. ප්‍රේමය නිසා ඇතිවෙන විරහව කියන්නෙ හිත ටිකක් රිදුනට ලොකුවට හිතන්ඩ ඕනෙ ප්‍රශ්නයක් නෙමෙයි සහෝදරී.ලව් වලදි හැමතිස්සෙම ආයෙ මුල ඉඳන් පටන් ගන්න පුළුවන්.විසඳුම් නැති ප්‍රශ්න කොච්චරනං තියෙනවද මේ ලෝකෙ.මම මෙහෙම කියන්නෙ චාටර් අදහසකින් නෙමෙයි.මම අද ගියා මහරගම පිළිකා රෝහලට.එතනට එන ගොඩක් අය එන්නෙ හරියටම මැරෙන දවස දැනගන්න මිසක් ලෙඩේ හොඳ කරං ගෙදර යන්ඩ නෙමෙයි.ඒ මිනිස්සුන්ට ආයෙ ජීවිතේ පටං ගන්න බෑ....

    ReplyDelete
  15. ඔව් අයියා ඒක ඇත්ත, මම ඒක පිළිගන්නවා.. ජීවිතෙ ගැන හිතද්දි අපිට තියෙන ප්‍රශ්න මොනවද කියලා හිතෙනවා වෙන අය එක්ක බලනකොට..

    ReplyDelete
  16. අදයි මේ පැත්තට මුලින්ම ආවේ.. කොටස් 3ම එක දිගට කියවගෙන ආවා.. හරිම ලස්සනයිඉ කතාව..

    ReplyDelete
  17. @dinesh- ස්තුතියි සහෝ, ආදරයෙන් පිලිගන්නවා සිත් අහසට..

    ReplyDelete
  18. ඇඩෙනවා.. :'( පොස්ට් එකනම් මාර ලස්සනයි.

    ReplyDelete
  19. ස්තූතියි මල්ලියා.. :D

    ReplyDelete
  20. ලස්සන කතාවක්.... මෙහෙමත් ආදරය කරන අය ඉන්නව....

    ReplyDelete
  21. මේ කතාව පුදුම ලස්සනයි....දෙයියනේ....!!!මටත් අතීතෙ ගොඩාක් දේවල් මතකෙට ආවා...ගොඩාක් දුක හිතුනා....මේක හරිම සංවේදී විදියට ලියලා අක්කා....හුගාක් ලස්සනයි...

    කොච්චර ආදරේ උනත් කෙල්ලෙක්ට ආදරේදි ඉස්සර වෙන්න බෑනෙ...අනේ මංදා..:(

    ReplyDelete
  22. හ්ම්... ස්තූතියි නංගා.. ඔව් කොච්චර ආදරේ වුනත් කෙල්ලෙක්ට තනියම තීරණයක් ගන්න බෑ කිසිම වෙලාවක, අන්තිමේ උරුම වෙන්නේ දුක විතරයි

    ReplyDelete
  23. මගේ කතවත් මන් ලියන්නම් කෙටියෙන්ම... මගෙ අදරෙ හම්බුනෙ මට ජංජාලයෙන්. අපි ටික කලයක්‌ කතා බහ කරල පස්‌සෙ උපාධිය කරන්න පන්ති ගියහම මට එය වද කරන තැන ඉහල නිලදාරියෙක්‌ ඇයට යොජනවක්‌ ගෙනවා කිව්වා. එදා තමා උපාධියත් නැවතුන දවස එස්‌.බි ලියාපදිංචිය නැවත්වපු නිසා. එදා මගෙ හිතෙ තිබුන ආදරේ ඇයට කිව්වා, සති දෙකකට පසු නැවත ඇය හමුවි ඒ ආදරය සැබැ ආදරයක්‌ බව ඇයට තේරුම් කර දි අපේ ආදරේ අපි පටන් ගට්‌ටා.. කාලයක්‌ අදරෙ ගලා යන කොට මට බැංකුවක රැකියාව ලැබුනා ව්‍යාපාර සන්වර්දන නිලදාරියෙකු ලෙස. ඒ අතරතුර කෙල්ලත් ලංකා බැංකුවේ වැද කරා මාස හයක පුහුනු කාලයකට, ඒ අතර තුර මා දන්නා වෙනත් පොඋද්ගලික බැංකුවකට දා ගන්න මන් වැද කරා. එය සර්තක උනා.. හැබැයි ඇය දැනුවත්ම තමා මන් මේ සියලු දේ කරේ. මන් එ ආදරය වෙනුවෙන් ගොදාක්‌ කැප කිරිම් කරා.. නමුත් අද ඇය මට කියනවා මන් ඒ උදවු කරේ යටි අරමුනක්‌ අතිව කියලා.. තුන් වරක්‌ අපගේ සම්බන්දය ඇයගේ ගෙදරට මාට්‌ටු උනා.. දෙපාරක්‌ මගෙම උත්සහයෙන් සම්බන්දය පවත්වා ගන්න කටයුතු හදාගත්තා.. නමුත් මේවර ඒය කරගැනිමට අපහසු උනා.. මන් නොකල දෙයක්‌ නැ.. දැන් කියනවා ඒය මට කැමති නැ කියලා.. ඔලුව පිස්‌සුයි වගේ දැන් නම්.. මොකක්‌ද කරන්න ඕනේ කියල හිතාගන්න බැ මට. මගේ විබාගය අත ලංගටම අවිත් තියෙන්නේ.. එයා මට දැන් රිදවනවා.. ජංගමය විසන්දි කරනවා.. මන් ඒයා වෙනුවෙන් ඒ ආදරේ වෙනුවෙන් ගොදාක්‌ කැපකිරිම් කරා.. න්මුත් අද මන් දුකින් ඉන්නේ.. මේ හැම දෙම ඒ ආදරය වෙනුවෙන් කරලා.. කෙලගෙ අම්මත් එක්‌කත් මන් කතා කරා.. හොන්දින් ඉගෙන ගෙන ඉන්න කිවා අපිට.. නමුත් ඇය මන් වැරදි කියලා මාව අතහරින්න හදන්නේ.. මන් ඇහුව්වට වැරැද්ද කියන්නෙත් නැ.. කුමන හෝ වැරැද්දක්‌ ඇත් නම් එය නිවැරිදි කරගෙන ආදරේ කරන්න පුලුවන් නේ.. නමුත් ඇය එය පිලිගන්නෙම නැහැ..මට වෙන කෙනෙක්‌ හොයගන්නලු.. එයාට නිදහසේ ඉන්න දෙන්නලු.. මන් මොකක්‌ද මේකට කරන්නේ..?? මන් මොකක්‌ද දැන් කරන්න ඕනේ..? ඇයව නැවත පෙර තත්වයටම ගන්න මොනවද කරන්න ඕනේ...? නමුත් මගේ ලංග එයට උන වැරැද්දක්‌ නැහැ.. වැරැද්දක්‌ ඇත්නම් මන් නිවැරිදි කරගන්න ලැස්‌තියි.. අදටත් මන් එයා ගැන හොයලා බලනවා.. මන් ගතයුතු තිරනය කුමක්‌ද කියන්න..? මට ඕනේ මේ ප්‍රස්‌නේ විසදගන්න... මට තේරෙන්නේ නැ ආදරේ කරලා ඇයි මොකක්‌ හරි උනාම මෙහෙම කෙල්ලො කරන්නෙ කියලා..

    ReplyDelete
  24. මගේ කතාවත් මීට සමානයි කුරුන් ගුරුන් සහොගේ දැනුවත් කිරීමකට අනුව මේ පැත්තේ ආවේ.වෙනසකට තියෙන්නෙ ඔබ ස්ත්‍රී පක්ෂේ මන් පුරුෂ පක්ෂේ සහා මගේ කතාව තවම අවසානයක් නෑ.

    ReplyDelete
  25. ස්තූතියි මල්ලි මේ පැත්තේ ආවට. ඔයාගෙ කථාවට මගෙ වගේ දුක්බර අවසානයක් ලැබෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  26. දුක හිතෙනවා, මෙහෙම දේවල් වේදනාවක්

    ReplyDelete
  27. ඇත්තටම වේදනාවක්... හ්ම්ම්...

    ReplyDelete

Back
to top