ජනේලයෙන් එහා



පාට කරදහි  පැහැය  සඟවා
හමන සුළගේ යන්තමින්,
දියව යන ඒ මිනිස්කම ගෙන
රූප ඇන්දෙමි අදත් මං,

මොනර නිලකට දෙඇස නතු විනි
මනුසතුන් තරඟයක දිව යති,
පැරදෙනා එකිනෙකා පෙරලා
යලි යලිත් ඉහලටම නැග එති,

දියව වැගිරෙන මිනිස්කම මැද
ශේෂ වී ගිය සැකිලි මත හිඳ,
යුක්තියට දිවි කැප කරන්නට
වෙහෙසෙනා එක් මනුසතෙක් වෙද,

එවන් වු මායාව ලුහුබැඳ
දිවූ මුත් එහි පලක් ඇති වෙද?
එකිනෙකා හට රිදවනාමුත්
කිසිවෙකුත් ජය ගනීවිද ලොව..

රාමුවක් තුල දකිමි ලෝකය
පනින්නට බෑ එයින් පිට මට,
රිදෙන මගේ සිත නොබිදෙනා ලෙස
රාමුවෙන් පිට නොයා ඉමි මම,.

CONVERSATION

14 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. එක් අතක ඇගිලි ගණනට
    අඩුවෙනුත් මුත් තිරිසනුන් මැද
    මිනිසත් කම අහිබවා දිදුලන
    දෙවිවරුන් වැනි උත්තමයන් සිටි,

    රාමුවක් තුල කෙලෙස ඉදිමුද
    අපිටවත් අපි නැති ලොවේ,
    ජය ලබන්නට ලොවක් නැති මුත්
    සොදුරු අතිතයක් ඇත අප රටේ

    අනාගත පරපුරට මෙපුවත
    තබන්නට ආදර්ශයක් ලෙසේ
    නොහැක ඉන්නට ඔය ලෙසින්
    රාමුවෙන් පිට වෙනු නගේ...

    ReplyDelete
  2. මනුස්සකම් යට ගිහින් කවදාවත් නැතිව
    මසුරන් ලොකුවෙලා මිනිස් හිත්වල
    මොකට දුවන්නද රන්කාසි පසුපස
    සිතුනා මට නුඹට නොසිතෙන මොහොතක.

    හෑම අතකින්ම ඉහලට නෑගෙන දියුණුව
    බලන්න සතුටුයි දෙනෙත් විවර කර ලෝකය
    ඒත් තවමත් අපි දුප්පත් කවුරුත් නොදකින
    නැතිවෙලා හිතේ සතුට හෑමදාටම.

    ReplyDelete
  3. සමානාත්මතාව කියන දේ ඇතිකරන්ඩ පුළුවන් උනොත් ගොඩ.ඒත් ඒක මිනිස්සුන්ට කියල දෙන්නනම් අමාරුයි.මොකද හැම ආගම ම ට්‍රයි කරන්නෙ ඕක කියල දෙන්නනෙ.සමානාත්මතාව නීතියක් කරගන්ඩ පුළුවන්නම් ටිකක් විතර ශේප්.ඒත් ෂුවර් කරන්ඩ බෑ.මිනිස්සුනෙ....

    ReplyDelete
  4. " එළිනොබසිමි ,
    කිසිදු ලෙසකින්
    තනාගත්
    රාමුවෙන් ඔබ්බට . . . "
    යැයි සිතා පැබැඳූ
    කවියවුව ,
    රාමුවෙන් මදකට මිදී
    එබී නොබැලූ කලක කිසිවිට
    ලියැවේද ,
    රාමුවේ උන්හට . . .

    " එළිනොබසින්න "
    යලිදු ,
    රාමුවෙන් පිට නුඹ
    දුටු ලෝකයෙන්
    ඔබ්බට . . .

    රාමුවක් තුළ ගෙවෙන සුරංගනා ලෝකයේ දැවටෙන සැපට වඩා රාමුවෙන් ඔබ්බට ඇති , දැනෙන දේ තුළින් ජීවිතය හොයපු මිනිස්සු පරාදයි කියලා ඕනම ඇහැකට පෙනුනට හොඳට ලංවෙලා බලපුවාම දැනේවි සුරංගනා ලෝක වල හිටපු ජීවත්වුණු මිනිස්සුන්ට වඩා ජීවත්වෙන්න පයගහලා කටු ගාල්වල පැටලිච්ච මිනිස්සු පරාදවුණත් දිනලා කියලා . මොකද උන් ජීවිතය කියන දේ මොකද්ද කියන එක හරියට දැනගත්ත නිසා. රාමුවේ උන් හැමදාමත් පංචස්කන්දය රවට්ටගෙන සුරංගනා ලෝකවල හීන දකිනවා . හීනය බිඳෙනකන්ම විතරක් . . . .

    ජය . . .

    ReplyDelete
  5. ආමුකවකට කොටු වෙලා ඉන්න එක එපාම කරපු දෙයක් කියලා හිතෙන්නේ නැද්ද ? . රාමුවකට කොටුවෙලා ගතකරන ජීවිතයත් නීරසයි.

    රාමුවකට කොටුවෙලා කරන ආදරෙත් එපා වෙනවා. ඒ නිසා රාමුවෙන් මිදිලා පොඩ්ඩක් ලෝකය දිහා බලන්න බැරි වේද ?

    ලස්සන කවි අදහසක්. ඔන්න මට හිතුන දේ කිව්වේ. කවි ටික නම් සුපිරි.

    ReplyDelete
  6. @චතූ මිතු-
    පිටව බැලු කල රාමුවෙන්
    අදහා ගනු බෑ දුටුව දේ
    කීරි ගැසෙනා හදවතේ
    දුකම පමණකි විදවුවේ

    @දිනෙශ් අයියා
    නොලැබෙනා මිණි සොයා කුමටද
    රුදුරු ගුණ ඇති මිනිස් ලොව තුල
    දකින හැම දේ නොදකිනා ලෙස
    හිඳුම සතුටක් ගෙනේවිද මට

    @දිනුක අයියා
    හ්ම්ම්.. ඒත් සමානාත්මතාව ඇති කරන්න බෑ. පොහොසත් මිනිස්සු දුප්පත් මිනිස්සු සංසන්දනය කරාම, ඇයි මේ එක පොහොසතෙක්ට තමන් ගාව උතුරන ධනයෙන් ටිකක් දුප්පතෙක්ට දෙන්න බැරි, ඇයි ඒ දුප්පතාගේ දුක නිවාගන්න උදවු කරන්න බැරි කියල මට හිතුන වාර අනන්තයි.සල්ලි පස්සෙ දුවන ලෝකෙක සමානාත්මතාවයක් බලාපොරොත්තු වෙන්න බෑ කවදාවත්ම.

    ReplyDelete
  7. දුවන කල එකිනෙකා පෙරලා
    නැතේ වැටෙනා එකා බලලා
    කාට කියනුද දහම මරලා
    රාමු ඇතුලෙත් දැලක් බැඳලා
    බලනු මිස ඉන් නොයා පෙරලා

    ReplyDelete
  8. @සුශාන් අයියා
    එලි බැස බැලූ විටෙකදි
    දුටු නිසා මේ ලෝ රඟ
    රාමුවම හොඳයයි
    සිතුනි සොයුරේ මට

    ඇත්ත රාමුවක් ඇතුලෙ ඉන්න කෙනෙක් මේ ලෝකයේ යථාර්ථය දකින්නෙක් නෙවෙයි.
    පොලොවේ පයගහලා ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ ඔය කියන රාමුවෙන් පිට පැනපු කෙනෙක්ට විතරමයි.ඒත් ඒ රාමුවෙන් එහා ලෝකයේ සිත් රිදවීම්, කෙනෙහිලිකම්, ඉරිසියාව, කැපීම් කෙටීම් එමටයි..
    ස්තූතියි

    @මධුරංග
    රාමුවක් ඇතුලේ ගෙවෙන ජීවිතේ නීරසයි තමයි, ඒ වගේම ඒකාකාරියි. ඒත් යථාර්තය පිළිගන්න අකමැති ගොඩාක් දෙනෙක් රාමුවක් ඇතුලෙ ඉන්න එක තමාට ආරක්ෂාකාරියි කියල හිතනවා.
    රාමුවෙන් මිදිලා ලෝකය දිහා බලන කෙනෙක්ට මූණ දෙන්න වෙන ප්‍රශ්න අනන්තයි පරමානයි.,ඒ ජීවිතෙ වඩාත් සාර්ථකයි කියල තමයි මමත් හිතන්නේ.
    බොහොමත්ම ස්තූතියි අයියේ

    @නෙතුපිය
    හ්ම්ම්..
    කුමන බැමි බැඳ සුරැකි වූවත්
    ලොවේ දහමට යටයි සැම සිත්
    රාමුවෙන් පිට නොයා සිටියද
    හසු නොවේ යැයි කියනු හැකිවෙද

    ReplyDelete
  9. නොදකින ලොවක් නොවෙයි මේ
    දකිනා ලොවයි
    දකින්නේ අපේ ඇසින්
    සීමා සහිත කෝණයකින්
    .....
    ලස්සනයි ප්‍රාර්ථනා

    ReplyDelete
  10. රාමුව තුළ සාර්ථක වුණොත් ඒ රාමුව වෙනස් කරන්න පුළුවන්! එහෙම නැතුව එය ගැන කියන අදහස් කවුරුත් නොපිළිගන්න පුළුවන්....

    ReplyDelete
  11. අනේ මුන් මොනා කියවනවද මන්ද මට තේරෙන්නේ නැ....මං දන්නේ රාමුව සාපේක්ෂයි කියල විතරයි.....

    ReplyDelete
  12. රාමුවක් තුල කිසිම පුද්ගලයෙක් සාර්ථක වෙන්නේ නෑ විසිතුරු. රාමුවක් කියන්නේ කිසියම් සීමාවක්, ඒ සීමාවෙන් පරිභාහිර දේ රාමුවට අන්තර්ගත වෙන්නේ නෑ.

    @නරක සමනලයා-
    රාමුව සාපේක්ෂයි තමයි. ඒ ඒ පුද්ගලයගේ දෘශ්ඨි කෝණය අනුව රාමුවේ දිග පළල තීරණය වෙනවා

    ReplyDelete
  13. මිනිස් කම සැඟවී ඇතැයි
    සිතුව මුත් මම පෙර දිනේ
    ලියන මේ අවකාශයේ
    නියම මිනිසුන් හමු වෙතේ..

    ReplyDelete

Back
to top