රන් තරු යුවලක්




සඳ බැස යමින් තිබුනා.....


සුමුදු වැලි තලාව මතින් සුදෝ සුදු පෙණ කැටි දඟ කරද්දි ඇය වෙරලේ ඈත කොනෙකින් මතු වුන ඔහු දෙස බලා සිටියේ ගැහෙන හදින්.. රිදී පැහැ ගත් ඔහුගේ රන්වන් වත මඩල ඇගේ සිතට ලබාදුන්නේ සිසිලසක්. ඇත්තටම මේ ඔහුමද? සීතලෙන් ගැහෙමින් තිබුන ඇගේ එක් අතක් ඇයටත් නොදැනුවත්ව ඇගේ අතේ තිබුන කුඩා මල්ල දෙසට දිව ගියේ සු‍රැකිව තබා තිබුන ඒ මතකය තවමත් සු‍රැකිව තිබේදැයි බලන්නට මෙනි. 


තවමත් සඳ බැස යමින් තිබුනා,..


තරු කැටිති එක දෙක එබී බලමින් තිබුනේ සඳේ එලිය අඩු වෙන ලෝකය එලිය කරන්නට හැකි දායකත්වය ලබා දෙන්නට වගෙයි. ඈත අහසේ දිලිසෙන එක දීප්තිමත් පුංචි තරුවක් ලඟ ඇගේ දෙනෙත් නතර වුනේ නොදැනුවත්වම... සඳ නැති වුනත් ඒ තරුව කොතරම් සුන්දරද? විටෙන් විට එලිය අඩු වැඩි වෙමින් දිලිසෙන ඒ තරුව ජීවි වස්තුවක් වගේ ඇගේ නෙත් මානේ දඟ කරන්නට පටන් ගත්තා. 


ඔහු..


ඔහු කොතරම් සුන්දර මිනිසෙක්ද? තවමත් ඔහුගේ රන්වන් වත මඩල ඇගේ දසුනෙන් බොහෝ ඈතයි. ඔහු ඇයට කෙමෙන් කෙමෙන් සමීප වත්ම බි‍ඳෙන් බිඳ එකතු වුන ඔහුගේ මතකයන්ගෙන් ඇගේ මනස පිරෙන්නට ගත වුනේ ඉතාමත් සුළු කාලයක්. මේ සුසිනිදු වැලිතලාව මතම ඔහු සමඟ ඇවිද ගිය වාරයන් කොතරම්ද? , 
වැල්ලේ ඇඳුන ඔවුන්ගේ පියසටහන් කොතෙක් නම් වාරයක් අකීකරු රළ පෙළ විසින් මකා දමන්නට ඇත්ද? . 
ඒත් ඒ පියසටහන් සදහටම ඇගේ සිත මත ‍රැඳුන බව ඇගේ සිත ඇයටත් වඩා හොඳින් දැන සිටින්නට ඇති.


ඉතින්,..
 තවමත් සඳ බැස යමින් තිබුනා..


දැන් ඔහුගේ රිදී පැහැයෙන් බබලන කෙහෙ‍රැලි සුලඟට සැලෙන සැටි පවා පෙනෙන තරමට ඔහු සමීපයි. ඒත් ඔහු තවමත් ඔහුව බලාපොරොත්තු වෙන ඇය වෙතට එමින් සිටියා. 


යලිත් වරක් ඔහුගේ මතකයන්...


අතීතයේ එක් දිනයක ඔහුගේත් ඇයගේත් සොඳුරු මතක මඟේ අමතක නොවෙන එක් නිමේශයක දැනුන ඒ පහස ඇගේ කෙහෙ‍රැලි සමඟ දඟලන සුළං ‍රැළි යලිත් ඇයගේ මතකයට ලඟා කරමින් තිබුනා. 
සියුම් විදුලි ධාරාවක් මුළු අහසම ඒකාලෝක කරමින් පෙනී නොපෙනී ගියා. ක්ෂණයකින් ඇයගේ සිහියට ආවේ ඔහුගේ පළමු හාදුව,..... 
සලිත වුනු ඇගේ දෙනෙත් ඇගේ සිතේ වූ නොසන්සුන් බව පල කලා. වේගයෙන් ගැහෙන ඇගේ හදවත, ඇට මස් ලේ නහර පසාරු කරමින් යන ඒ වේදනාව යටපත් කරමින් ඔහුගේ සියුම් ස්පර්ශය ඇයට යලිත් දැනෙන්නට වුනා. අර පුංචි තරුව යලිත් තම ආලෝකය විසල් පොලෝ තලයට යොමු කරමින්, ඇය සමඟින් සිනාසෙන්නට පටන් ගත්තා.
ඔහුගේ පියසටහන්,.. 
ඔව්, දැන් ඇයට ඔහුගේ පියසටහන් පවා පෙනෙන තරමින් ඔහු ඇයට සමීපයි.. සෙමින් සෙමින් ඔහුගේ දෙඅත ඇය දෙසට ඔහු දිගු කරනා හැටි ඇය දු‍ටුවා. 
රිදී රේඛා වන් අකුණු කෙටීමකින් පසුව පුංචි පුංචි වැහි බිඳු එකින් එක ඇගේ වත සිප ගන්නට පටන් ගත්තා. 
කාලාන්තරයකට ඉහත ඔහුගේ ඒ දෙඅත් තුල සැතපී නිදි දෙව් දූ තුරුලට වන් හැටි.. ඇගේ දෙනෙත් වසාලමින් ඔහුගේ උණුසුම් හාදු වැසි වැටෙන්නට වූ ඒ සොඳුරු සමය, පරිසරය විසින් ඇයට යලිත් සිහිපත් කරන්නට වුනා. 


ඒත් සඳ .....
තවමත් බැස යමින් තිබුනා..


දැන් ඔහු සමීපයි ඇයට, ඔහුගේ මුහුණේ ඇඳුන සියුම් සිනහවක සේයාව පවා පෙනෙනා තරමටම. ඒත් එක දෙයක් අසම්පූර්ණයි. ඇගේ අතේ මෙතෙක් වෙලා ‍රැඳී තිබුන මතක සටහන... වෙවුලන දෙඅතින් කුඩා බෑගය විවර කල ඇය මෙතෙක් වෙලා සු‍රැකිව තබා ගත් මංජුසාවක් එලියට ඇද ගත්තා. ඔහුත් ඒ දෙස බලන්නට වුනා. ඈත අහසේ දිදුලන පුංචි තරුව සඳටත් වඩා එලිය සදමින් ,මංජුසාව තුල වූ මුදුව, ඔහුගේත් ඇගේත් නිල නොවූ විවාහයේ මතක සටහන, දෙස බලන්නට වුනා. ඔහුගේ උණුසුම් සුසුම් ඇගේ ලය මඩල මත පතිත වන්නට වුනා. ඔවුන්ගේ නොමියෙන ආදරයේ සංඛෙතයක් වූ රන් මුදුව අතට ගත් ඈ එය සිප ගත්තේ ඉමහත් භක්ත්‍යාදරයෙන්. 
එක් නිමේශයකින් මුහුදු රළ හඬ පරයා නිසංසලතාව රජයන්නට වුනා.,..
රන් මුදුව මුහුදු පතුලේ ගැඹුරුම තැනක තැන්පත් වෙද්දී, ඔහුගේ අතින් අල්ලා ගත් ඇය කිසිවෙකුත් නොදන්නා කිසිවෙකුත් නොදකින සුන්දරම ඉසව්වක් දක්වා පිය නගන්නට වුනා. රළ පෙල අතර ඇගේ පා සටහන් මැකී යද්දී..නගරය සිසාරා උලලේනියකගේ මූසල හඬ පැතිරෙමින් තිබුනා..ඇගේ ආත්මය ඔහුගේ ආත්මය හා මුසුවී තිබුනා, ඒත් ඇගේ සිරුරේ ජීවි බව ඔහුගේ අජීවි ආත්මය විසින් අත්පත් කරගෙන තිබුනා..


සඳ බැස ගොසින් තිබුනා,....


ඒ වෙනුවට ලොව එලිය කරන්නට පෑයූ තනි තරුවට පසෙකින් තවත් දිදුලන තරුවක් පායා තිබුනා...





CONVERSATION

14 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. දෙන්නට දෙන්නා ආදරේ නම් ඒයැයිට ආදරෙන් ඉන්න පුලුවන් නම් විවාහය නිල උනත් නිල නොලත් උනත් එනසක් නෑ. ලස්සනට මේ අදහස් ටික ගලපලා ලියලා තියෙනවා.

    ReplyDelete
  2. ඔච්චර ලස්සනට අදහස් ගලපන්න ඉගෙන ගත්තේ කොහෙන්ද කියල කියමු බලන්න..
    ;)
    හැම රසයකින්ම ටික ටික දාල ලස්සනට ලියල තියෙනවා අක්කා..
    කවදාවත් ලියන එක නවත්තන්න නම් එපා හොඳද?
    :)

    ReplyDelete
  3. පට්ටයි....සිරාවටම...

    සඳ බැස ගොසින් තිබුනා,....

    නියමෙට ගලපලා

    ReplyDelete
  4. ඔබ පවසන නොපෙනෙන මානය ආදරය වෙනුවෙන් දිවිපිදීමක් කියල හිතෙනව.... ලස්සනයි.....

    ReplyDelete
  5. තාමත් බට ලයිට්

    ReplyDelete
  6. @මධුරංග- ඔව්, ආදරේ තියෙනවා නම් වෙන හේතු ඒ ආදරේට හරස් වෙන්නේ නෑ,.
    බොහොම ස්තූතියි.

    @නරක සමනලයා- ස්තූතියි

    @ආගන්තුකයා- ස්තූතියි මල්ලියා, ඔයාලා කියවන තාක් කල් මම මේ බ්ලොග් එක ලියනවා.

    @රත්ගමයා- ස්තූතියි හොඳේ..

    @මන්තරකාරී- ගොඩාක්ම ස්තූතියි, සිත් අහසට සාදරයෙන් පිලිගන්නවා.

    @ඔජයේ- හ්ම්ම්.. ඔව් නොපෙනෙන මානයේ ඉන්නේ ඔහුත් ඇයත් විතරයි.
    ස්තූතියි..

    @කිඩො- ඒ මොකෝ, මේ කමෙන්ට් එකට නම් මාත් ටියුබ් ලයිට්

    ReplyDelete
  7. කෙටියි සරලයි සුන්දරයි ..සියලු රස සපිරියි.. ශෝකය රස විඳිය හැකි රසයක් උනේ කොහොමද මන්දා.

    ReplyDelete
  8. සඳ බැස යන
    අළුයම වෙත...
    නුඹේ මතකය
    ඇවිත් මවෙත
    දැවටි දැවටි
    පුරා ම'ගත....
    ගෙනෙන අරුම
    කඳුලැල් නෙත.......

    යළි බැලුවෙමි..
    කඳුලු පිසැර
    වළා අතර
    සඳ දැන් නැත... !!!

    ReplyDelete
  9. @සරත් ලංකාප්‍රිය- ස්තූතියි :)
    @මංචි- කවිය ලස්සනයි, ස්තූතියි.. :)

    ReplyDelete
  10. හරියටම අදහස පැහැදිලි වුනේ නෑ වගේ මට. ආයෙත් කියවලා බලන්නම්...

    ReplyDelete
  11. නියමයි.... මාර දේවල් තමා හිතෙන්නේ...

    ReplyDelete
  12. @නචියා- හ්ම්ම්,,,, ටිකක් කියවල බලන්න,, තෙරෙන්නේ නැත්නම් ඒක මගේ දුර්වලකමක් වෙන්න පුළුවන් නේ? වැරදි හදාගන්න සහයෝගයක් දෙනවා නම් ඒකත් මට ලොකූ උදව්වක් අයියා,.

    @ගෝල්ඩ් ෆිශ්- ස්තූතියි.. :D

    ReplyDelete

Back
to top