ස්නේහයෙන් පුදන්නට අවසරද මට ඔබව




දිලෙන්නට අවැසි වුව,
සඳක් නොව මා ගගන,.
නුඹේ සිත පුරාවට
සිසිල දෙමි ගඟක් ලෙස,
පා නගන ඔබෙ පසෙක
පිය මනිමි මා මිතුර,
පැකිලෙනා විටදි පය
වාරු වෙමි ඔබේ ලඟ,.
සෙවනැල්ල වී හිඳිමි,
අඳුර රජයන ‍රැයක.
සිතුවිල්ල වී ‍රැ‍ඳෙමි
කවක් නැති සිතක් ලඟ,.
සිනාසෙන දෙනෙත මත 
‍රැ‍ඳෙන්නෙමි සදා මම,
ස්නේහයෙන් පුදන්නට
අවසරද මට ඔබව,.


ඔයා ගැන මෙච්චර හිතලත් හිතට තාමත් නිදහසක් නැති හැටි. ඔයා ගැන හිතන හිතන වාරයක් ගානේ ඔයාව මුලින්ම හම්බ වුන දවසේ ඉදන්ම හැම මතකයක්ම මගේ ඇස් ඉස්සරහපිට දිග ඇරෙන්නේ කොහොමද මන්දා,. ඔයාගේ එක බැල්මකින් මාව පිස්සු වැටෙනවා. මම ඔයාට ආදරෙයි කියන වචන ටික නොකිව්වත් ඒ බැල්ම ඇතුලේ හැංගිලා තියෙන ගොඩාක් දේ මට දැනෙනවා. ඔයාගේ එකම එක හිනාවක්, එකම එක කෙටි පණිවිඩයක් මාව කොච්චර දුරකට ගෙනියනවද කියලා ඔයා දන්නවා නම් අයියේ. 


ඔයා එවපු හැම කෙටි පණිවිඩයක්ම මම පරෙස්සම් කරලා අරන් තියාගන්නේ ගොඩාක් ආදරෙන්. ඒ හැම එකකින්ම කියවෙන හැම වචනෙකටම මම ගොඩාක් ආදරෙයි. කාලෙකට පස්සේ අද ඔයාව දැක්කම මට දැනුන සතුට ඔයාටත් දැනුනා කියලා මම දන්නවා.එවෙලේ මගේ හිත කෑ ගහන සද්දේ ඔයාට ඇහුනා නම්........ මම කථා කර කර හිටපු හැම දේම මට අමතක වෙලා ගියේ එක තත්පරේකින්. ඒත්, ඒ හැමදේකටම හේතුවක් මම තාමත් දන්නේ නෑ.. 


ආදරේ බොලඳයිලු. ඒත් මේ තරමටම..... ඔයා එවන හැම කෙටි පණිවිඩයක්ම මාව හිනාගස්සන තරමටම.... ඔයා දකින හැම වෙලාවකම මට හැමදේම අමතක වෙන තරමටම..... ඔයාගේ හිනාවක් දකින්න මම හැමදාම හීන මවන තරමටම....., මේ ආදරේ බොලඳයිද?. ඒ කොහොම වුනත් මම ඒ ආදරේට ආදරෙයි. ඔයාගේ ඔය ආඩම්බරකාර මූණ දිහා එක මොහොතක් බැලුවත් ඔයා මට ගේන්නේ සතුටක්. 


රෑ පුරාවටම මගේ හැම හීනෙකම ඉඩ කඩ හොයාගන්න තරමටම ඔයාට මම ආදරේ කරන්න පටන් අරගෙන. ඒත් ඒ හැඟීම වචන වලට පෙරලන්න තරමට මම අද දක්ෂ නෑ. ඔයා විතරක්ම ජීවත් වෙන මගේ මේ පුංචි හිතට තවත් දේවල් තියාගන්න කෝ ඉඩක්... ලස්සන වචන කොච්චර දැනගෙන හිටියත් ඒ එකක්වත් ඔයාට ගලපගන්න බැරි තරමටම ඔයා මාව අසරණ කරලා...


ඔයා ගැනම ලියවුන කවි වලින් මගේ දිනපොතේ පි‍ටු පිරෙද්දි ඒ එක කවියක්වත් පොඩ්ඩක්වත් ලස්සන නෑ කියලා මට හිතෙන්නේ ඇයිද මන්දා.. ඔයාගේ ආදරේට සමාන කරන්න පුළුවන් කිසිම කවියක් මගේ අතින් කවදාවත්ම ලියවෙන එකක් නැති වෙයි.


අරහෙට මෙහෙට දඟලන, පොඩ්ඩක්වත් එක විදියකට ඉන්න බැරි ඔයාගේ ඒ දඟකාරකමට මම කොච්චර ආසද කියලා ඔයා දන්නවා නම්.. හැමදාමත් දකින ඔයාව හැමදාමත් දැක්කත් එක දවසක් නොදැක ඉන්නකොට මේ තරමට වේදනාවක් දැනෙන්නේ ආදරේ නිසාද?. ඔයාව නොදැක මම ඉන්නේ කොහොමද කියලා හිතනකොට ඇස් වලින් නැවතිල්ලක් නැතුව කඳුළු ගලාගෙන යන්නේ ඇයි?. මේ කිසිම ප්‍රශ්නෙකට උත්තර ඔයාවත් දන්නේ නැතුව ඇති.. මම දන්නෙත් නෑ. මම ලියන කිසිම දෙයක් ඔයා කියවන්න එපා කියලා ප්‍රාර්ථනා කරපු මමම " අනේ ඔයා ඒව කියෙව්වා නම් "කියලා අද හිතනවා. 


ඔයාගේ තනියට පාළුවට ඔයා ගාව ඉන්නේ ඔයාගේ හෙවනැල්ල විතරයි කියලා ඔයා කිව්වා නේද අයියේ.. ඉතින් මේ නංගාට ඔයාගෙන් එකම එක දෙයක් ඉල්ලන්න පුළුවන්ද? මම පොරොන්දු වෙනවා මම ඔයාගෙන් වෙන මුකුත්ම ඉල්ලන්නේ නෑ..


මට ඔයාගේ හෙවනැල්ල වෙන්න ඉඩ දෙන්න.. ඒත් මම පොරොන්දු වෙන්නම් කළුවරේදී ඔයාගේ නපුරු හෙවනැල්ල වගේ ඔයාව දාලා කොහේවත්ම යන්නේ නෑ කියලා...

ඔයාගේ ලඟම ඉන්න බැරි වුනත් , පොරොන්දු වෙන්නම් ඔයාව තනි කරන්නේ නෑ කියලා..
ඔයාගේ ජීවිතේම නොවුනත්, පොරොන්දු වෙන්නම් ඔයාගේ අන්තිම හුස්ම පොද වෙනවා කියලා,.ඒත් කවදාවත් ඒ හුස්ම පොද ඔයාගෙන් ගිලිහෙන්නේ නැති වෙයි...

ඔයාගේ අහසේ පායන දේදුන්නක් නොවුනත්, පොරොන්දු වෙන්නම් කවදාවත්ම ඔයාගේ ඉර එළිය උදුරගන්නේ නෑ කියලා..
හඳක් නොවුනත්, පොරොන්දු වෙන්නම් තරුවක් වෙලා හරි ඔයාට පාර කියන්න..

ඉතින්, අවසරයිද මට......





CONVERSATION

21 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. හැමෝටම හඳක් වෙන්න බෑ . ඒක ඇත්ත . ඒත් පුන්චිම පුන්චි තරුවක් වෙලා හරි තව කෙනෙකුගේ දිවිය එළිය කරන්න පුළුවන්නම් ඒක තමන් ලබන ආදරයට කරන ලොකු සාධාරණයක් . . . ජය . . . :)

    ReplyDelete
  2. ආදරයක් හිතට දැනුනම කොයි තරම් ලස්සනකට ඒවා වචන වලට පෙරලුනත් අපිට දැනෙන්නේ ඒවා ලස්සන මදි ඇති කියලා... හිතේ හැගුම් පිරිලා ඉතිරිලා යන මේ ආදරේ මගේ නංගාගේ ජිවිතේ පුරවන්න හදවතින්ම ආසිරි මල් දම් මාත් ඉස්සින්නම්

    ReplyDelete
  3. "හඳක් නොවුනත්, පොරොන්දු වෙන්නම් තරුවක් වෙලා හරි ඔයාට පාර කියන්න.." දයාබර ආදර හිතකින් ආදරණීය අවසර ඉල්ලීමක්... සියලු පැතුම් ඉටුවෙන්නට සුබ ප්‍රාර්ථනා..!!! :)

    ReplyDelete
  4. ලස්සන අදහස් ටිකක්! :) මම ප්‍රායෝගිකව කාගෙන්වත් අහන්න අකමැති උනාට, හරි ලස්සනයි!

    ReplyDelete
  5. හද ආදරේ පිරී .. ඉතිරෙනවා.....!

    ReplyDelete
  6. :)
    ආදරේ කරන කෙනා ඇස් ඉස්සරහා දැක්කාම හැමදේම අමතක වෙනවා තමා අක්කියෝ..
    හැමකෙනාටම එහෙම වෙනවා..
    ඒ බොළඳකම් නෙවෙයි.
    ඒ ආදරේ තරම..
    ඔයා සෙනෙහස කවදා හරි දවසක එයාට එයා ලඟින් ඉඳගෙන පුදන්න ඔයාට පුළුවන් වෙයි.
    කවදා හරි ඒ දවස එනවා.
    සත්තමයි..

    ReplyDelete
  7. "හඳක් නොවුනත්, පොරොන්දු වෙන්නම් තරුවක් වෙලා හරි ඔයාට පාර කියන්න.."

    හරිම ලස්සනයි අක්කියෝ...:) ආදරේ උතුරලා පිටාර ගලනවා..හරිම හැගීම්බරයි

    ReplyDelete
  8. සකුණ සත්සර මියැසි
    පාව යන
    සමනලුන් සැරිසරන විශ්වයේ
    සිත් අරනේ ආදරේ පුරෝගෙන
    ජීවිතේ ජීවනය තවරන්න
    අවසරයි...
    පන්සලක් වගේ හිත් අසපුවේ
    සෙනෙහසේ මල් පුසුම පුදසුනේ
    සදාකල් වන්දනා වි වෙන්න
    ඉතින් මට අවසරයි.....

    මේ මම මීට ගොඩක් කාලෙකට කලියෙන් ලියපු නිසදැසක්... ඔයාගේ නිසදැස දෙක්කම මේක මතක් උනා මට....

    ReplyDelete
  9. @සුශාන් අයියා- ඒක ඇත්ත අයියේ.. හඳක් වෙන්න බැරි තැනක තරුවක් වෙලා හරි එලියක් දෙන්න ඇත්නම්, ඒක තමයි ලොකුම සතුට,. ස්තූතියි..

    @දේවා අයියා- හ්ම්ම්.. ඔව් අයියේ.. ගොඩාක්ම ස්තූතියි මගේ අයියගේ ප්‍රාර්ථනාවට.. :)

    @නන්දු- මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා, ගොඩාක්ම ස්තූතියි ඔයාටත්

    @තනි අලියා- ස්තූතියි මල්ලියෝ..

    ReplyDelete
  10. @රහස් පරීක්ශකයා- හ්ම්ම් හ්ම්ම්.. ස්තූතියි මල්ලියෝ..

    @red riding hood- ඔව් නංගෝ, අනේ මන්දා,, ඒ බොලඳකමක්ද නැත්ද කියලා නම් මම දන්නේ නෑ,,..
    ගොඩාක්ම ස්තූතියි ඔයා මට දුන්න හැමදේටම නංගෝ..

    @හිතුවක්කාරී- ස්තූතියි නංගියෝ.. :)

    @Dinesh අයියා- අයියගේ කවි හැම එකක්ම හැමදාමත් ගොඩාක්ම ලස්සනයි.. ඔයාගේ කවි වලට මම ගොඩක් අසයි අයියේ,. ස්තූතියි ඒ ලස්සන කවි බෙදාගන්නවට..

    ReplyDelete
  11. හරිම ලස්සනයි අක්කියෝ..කලින් කලබලේට ඇවිත් කමෙන්ට් කරලා ගියා..ඒත් මේකට ආයෙත් කියවලා කමෙන්ට් කරන්න වටිනවා..ආදරේ කරන හිතකට දැනෙන දේවල් කොච්චර ලස්සනද?
    සුන්දරද? දකින කියන දැනෙන හැමදෙයක්ම වෙනදට වැඩ ලස්සනට පේනවනේ? :))
    මං කියනවට කියන්නකෝ අක්කියෝ..ඔයාගේ වටිනා ආදරේ ඒ අයියට දැනෙන්න ඉඩ අරින්නකෝ..:)

    ReplyDelete
  12. ස්තූතියි මල්ලියෝ.. අනේ මන්දා මල්ලියෝ, එයා ඒක නොදන්නවා නෙවෙයි.. එයා ඒක දන්නවා,.. එයා හැම වෙලාවකම මාව හොදටම තේරුම් ගන්නවා. ඒත්... අපි බලමු.. ගොඩාක්ම ස්තූතියි ඔයාට මල්ලියෝ..

    ReplyDelete
  13. කියාගන්න වචන නෑ කියලා කිව්වට මේ හොදටම ලියා තියෙන්නේ. ඔය කිව්වට මාත් ඉස්සර මට ආපු මැසෙජස් ඔක්කොම ටික පරිස්සම් කරගෙන තියාගන්නවා. ඒත් ඉන්බොක්ස් එක පිරුනම තමා ඩිලීට් කරන්න වෙන්නේ. එතකොට ඉතින් පරණ ඒවා ටිකක් ඩිලීට් කරනවා :)

    ReplyDelete
  14. ඒත් ඒ එක මැසේජ් එකක් හරි ඩිලීට් කරද්දි පුදුම දුකක්නේ අයියේ දැනෙන්නේ... ආදරේ හරි පුදුම දෙයක්.. අනේ මන්දා...

    ReplyDelete
  15. ම්ම්ම්ම්ම් ගොඩා...ක් ලස්සනයි..........

    ReplyDelete
  16. හම් හම්...ආදරේ හැටි ඔහොම තමයි....

    තනි තරුවක් වෙන්නම් මන්
    නුඹ සඳවතට තනි රකින.......
    කුමුදු මලක් වෙන්නම් මන්
    නුඹේ ලෝකය සුවඳ කරන........
    දිය දෝතක් වෙන්නම් මන්
    නුඹෙ පිපාසාව දුරවාලන.........
    පවන් රොදක් වෙන්නම් මන්
    නුඹෙ විඩාව දුරවාලන.......
    ප්‍රිය බිරිඳක් වෙන්නම් මන්
    දුකට සැපට නුඹ ලඟින් හිඳින.......

    මේ මන් ආදරේ කරන කෙනාට ගොඩක් ආදරේ හිතුණ වෙලාවක යවපු මෙසේජ් එකක්....මාත් එයා එවන හැම මෙසේජ් එකක්ම තියාගෙන ඉන්නවා...ඉන්බොක්ස් පිරෙන කොට,මෙසේජ් ඩිලිට් කරන්න වෙනකොට මාර දුකයි...

    ඔයාගේ ඔය ආදරේ ඔයාටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මන්....!!!

    ReplyDelete
  17. @සී, නී- හරිම ලස්සනයි කවිය නම්.. මම නම් එක මැසේජ් එකක්වත් ඩිලීට් කරන්නේ නෑ. හැම එකම එක්කෝ කම්පියුටර් එකට දාගන්නවා.. නැත්නම් වෙනම ෆෝල්ඩර් එකක සේව් කරලා තියාගන්නවා,, හ්ම්ම් හරිම දුකයි තමයි ඒ වගේ මැසෙජ් ඩිලීට් කරන්න වෙන එක..

    ReplyDelete
  18. "ඔයා ගැනම ලියවුන කවි වලින් මගේ දිනපොතේ පි‍ටු පිරෙද්දි ඒ එක කවියක්වත් පොඩ්ඩක්වත් ලස්සන නෑ කියලා මට හිතෙන්නේ ඇයිද මන්දා.. ඔයාගේ ආදරේට සමාන කරන්න පුළුවන් කිසිම කවියක් මගේ අතින් කවදාවත්ම ලියවෙන එකක් නැති වෙයි."

    බය වෙන්න එපා කවදාහරි ඔයාගේ අතින් ඒ කවියත් ලියවේවි.

    ReplyDelete
  19. හ්ම්ම්.. බලමු කසුන්.. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ලියවෙන කවියේ නෙවෙයි,. ඒ එක කවියක්වත් එයාට සම කරන්න මගේ හිත ඉඩ දෙන්නේ නැති එකයි ප්‍රශ්නේ,. :)

    ReplyDelete
  20. PLS VISIT THIS SITE BY FIREFOX
    WWW.RAWAYA.NET

    ReplyDelete

Back
to top