෴කට්ට කෑව රැග් කාලේ, ආයේ එන්නේ නෑ රාළේ,.෴



හැමදාම ආදරේ ගැනම කියන නිසා අද මම හිතුවා මගේ බාලාංශ ජීවිතේ ගැන ඉතිරි ටික කියන්න. නිසුපා අක්කාගේ පෝස්ට් එක කියවලා මම ආයේමත් ඒ සුන්දර අතීතෙට ගියා,.
ඉතින් මම කිව්වනේ බාලාංශෙට ගියපු අපිව අයියලා ගොඩාක් ආදරෙන් පිළිගත්ත හැටි..ඊට පස්සේ තමයි අපේ කැම්පස් ජීවිතේ සුන්දරම කාලේ උදා වුනේ. ‍රැග් එක විඳින කාලෙට කොයිතරම් වදයක් වුනත් ඒ කාලේ කොච්චර ලස්සනද කියලා හිතෙන්නේ දැනුයි.

කොහොමින් කොහොම හරි ඔන්න අපිත් අහු වුනා ‍රැග් එකට. සමහර ළමයි ‍රැග් එකට නාවත් මම නම් ඉතින් ‍රැග් එකට ගියේ පැනගෙන,. හිනා වෙන්න, පොඩි ජොලියක් ගන්න තියෙන චාන්ස් මිස් කරගන්න එක හරි නෑනේ. 

‍රැග් කාලේ අපිට තිබුන එක නීතියක් තමයි අපි හරියටම උදේ 7 වෙද්දි ෆැකල්ටි එකට ඇවිත් ඉන්න එක. දැන් අම්මා එක්ක කිරිබත්ගොඩ පදිංචි වුනාට ඒ කාලේ මම හිටියේ කොහුවල පැත්තේ බෝඩිමක. හැමදාම පස්සට අවුව වැටෙනකන් නිදාගන්න, මටම හරියන යාළුවෝ දෙන්නෙක් එක්ක තමයි මම ඒ කාලේ බෝඩිං වෙලා හිටියේ. කොච්චර එලාම් තිබ්බත් අපි 3 දෙනා 6.00න් එහා ඇර ඇහැරවෙන්නේ නෑ. උදේ 6ට ඇහැරිලා නිදිමරගාතෙම 3 දෙනා රන්ඩු වෙවී  බාත් රූම් එකට රිංගගන්නේ ඉක්මනට මූණ කට හෝදගෙන 7 වෙනකොට කැම්පස් එකේ ඉන්න. 
මොන,...... ජීවිතේට අපි 3දෙනාට 7ට කැම්පස් ඉන්න ලැබෙන්නේ නෑ. අපේ අයියලා එහෙම පරක්කු වෙන හැම කෙනෙක්වම පරක්කු වුන විනාඩි ගානට හරියන්න කැම්පස් එකේ ලෙක්චර් හෝල් එකකුයි කැන්ටිමයි අතරේ තිබුන දුරක වට ගානක් යවනවා. ඉතින් හැමදාම උදේට අපි 3 දෙනාම දාඩිය පෙරාගෙන හති දාගෙන කැම්පස් එක වටේ දුවනවා. ඊට පස්සේ තමයි අපිව කැන්ටිම ඇතුලට ගත්තේ. :P 

එක දවසක් මම මොකක් හෝ අවාසනාවකට කලින් කැම්පස් එකට ආවා. කලින් කැම්පස් එකට ඇවිත් යාළුවෝ එනකන් කැන්ටිමට වෙලා බලාගෙන ඉද්දි මෙන්න බොලේ අයියලා දෙන්නෙක් මට බැල්ම දානවා. එන පොට එච්චර හොඳ නැති බව තෙරුනත් මොනවා කරන්නද ඉතින්, මම නොදැක්ක ගානට වාඩි වෙලා හිටියා. ඒ පාර අපේ වයසෙම කොල්ලෙක්ට කතා කරපු අයියලා දෙන්නා එයත් එක්කම මගේ ගාවට ආවා. කොල්ලට මගේ ගාවින් වාඩි වෙන්න කිව්වා.

එන පොට නම් හොඳම නෑ, මොන මඟුලකට අද වේලාසන ආවද කියලා හිත හිතා ඉද්දි අයියලා දෙන්නා මාව ‍රැග් කරන්න පටන් ගත්තා.

ඒයි කෙල්ලේ උඹට කොල්ලෙක් ඉන්නවද? “

අයියලාගේ ජාතික ප්‍රශ්නේ එක අයියා කෙනෙක් මගේ ඉස්සරහ දිග ඇරියා.ඔය කාලේ මම හරි අහිංසක පොඩි එකා, කොල්ලෙක් එක්ක යාළු වෙන්න තියා කොල්ලෙක් දිහා ඇහැක් ඇරලවත් බලලා තිබ්බේ නෑ ඕං.. :) ;)

"නෑ අයියේ"  මමත් බය පක්සපාත බව පෙන්නලා කිව්වා,.

"හරි එහෙනම් උඹ මේ කොල්ලට කැමතිද? "

පලවෙනි ප්‍රශ්නෙට පස්සේ අනිවාර්යෙන් මේ ප්‍රශ්නේ එලියට එන බව මට ඉවෙන් වගේ දැනුන නිසා මම උත්තරේ ලෑස්ති කරගෙනම හිටියා, නෑ කිව්වත්, ඔවු කිව්වත් කිසිම ගැලවිල්ලක් නැති බව දන්නවා වුනත් ඔවු කිව්වොත් ඇති වෙන්න පුළුවන් තත්වේ නෑ කිව්වොත් ඇති වෙන තත්වෙට වඩා භයානක බව දන්න නිසාම මම ගත් කටටම " නෑ " කිව්වා.

"මොකද උඹ මූට අකමැති,. මූ උඹට කැමතියිලු, නේද කොල්ලෝ"

මෙහෙම කියද්දි මොන කොල්ලද නෑ කියන්නේ. අර කොල්ලත් " ඔව් අයියේ " කියපි.

"එහෙනම් මේකිට කියපන් මම ඔයා වෙනුවෙන් ඕන දෙයක් කරන්නම් කියලා"

ඉතින් අර කොල්ලත් ගිරා පෝතකයා වගේ අයියලා කියන කියන එක කියනවා, තනි මම ඔය ඔක්කොම අහන් ඉන්නත් එපාය,. :P

"උඹ මූට අකමැති වෙන්න හේතු තියෙන්න ඕනෙනේ, කියපන් ඒවයෙන් පහක්,"

හත් ඉලව්වට ගහපු කලාබරේ කිව්වලු, මේ කොල්ලගේ මූන බලාගෙන මම කොහොමද අකමැති වෙන්න හේතු පහක් කියන්නේ,
කරන්න දෙයක් නෑ කොල්ලෝ කියල හිත හදාගත්ත මම පළවෙනි හේතුව කිව්වා,

"එයා කොන්ඩේ පීරන විදියට මම ආස නෑ"

"හරි, මූ කියනවා උඹ ආස විදියට කොන්ඩේ පීරන්නම්ලු , දැන් මූට කියපන් උඹ කොල්ලෙක්ගේ කොන්ඩේ දකින්න ආස විදිය"

හපොයි, හේතු පහ විතරක් කියලා ගැලවීමක් නෑ වගේ, පලවෙනි හේතුව කියපු ගමන් මාව නවත්තපු අයියා කෙනෙක් එහෙම කිව්වා,.
ඉවරෙටම ඉවරයි, අද නම් ඇ‍ඳෙන් නැගිටපු නැකත හරි නෑ වගේ, ඒත් ඉතින් මොනවා කරන්නද?

මම ආස මුදු මුදු කොන්ඩෙකට" එහෙම කියපු මම පළවෙනි ප්‍රශ්නෙන් යන්තම් බේරුනා. කොහොම කොහොම හරි ඔහොම අකමැති හේතු 4ක්ම කිව්වා කියමුකෝ, තව හේතුවක් මට මතක් වෙන්නෙම නෑ. ටික වෙලාවක් අර කොල්ලා දිහා බලන් ඉඳපු මම අන්තිමේ අන්තිම හේතුව විදියට කිව්වා

" මම එයා ඇඳන් ඉන්න විදියට ආසා නෑ" කියලා
එහෙම කිව්වට ඒකෙනුත් බේරුමක් නෑ වගේ , අයියලා අර කොල්ලට කියනවා ඊළඟට මගෙන් අහන්නළු

"එහෙනම් මම මොන විදියට අඳිනවටද කැමති කියලා,

හත් ඉලව්වයි,... ආයෙමත් යන එන මං නැතුව වට පිට බලනකොට එක අයියා කෙනෙක් මට රහසෙන් වගේ කථා කරනවා,

"උඹ කියපන් කොට කලිසම් අඳිනවට කැමති කියලා, කියපන් ඉතින්,. "

හිකිස්... ඒක අහපු ගමන් මට එක පාරටම ඒ කොල්ලා කොට කලිසම් ඇඳන් කැම්පස් එනවා මැවි මැවී පෙනුනා,

"බකස්,... "

එක පාරට මගේ කටින් පැන්න හිනාව දැකපු අයියලා දෙන්නත් ‍රැග් කිරිල්ල පැත්තක තියලා හෝ ගාලා හිනා වෙනවා.. හී හී..
කොහොම හරි කොට කලිසන් අඳින්න කියලත් ඒ කොල්ලට කියාගත්ත මම එදා හිනාවට යාන්තමට බැනුමක් අහලා බේරුනා.


අපෙ අයියලා අපිට ‍රැග් එක දුන්නේ තැන් දෙකක. උදේ වරුව කැන්ටිම ඇතුලේ, දවල් වරුව ෆැකල්ටියේ ගස් යට තියෙන බංකු වල. එක ගහක් වටේට බංකු හතර ගානේ බංකු 16ක් තියෙනවා.  ඔය බංකු හතරෙන් එක බංකුවක වාඩි වෙන්නේ ‍රැග් කරන අයියලා, ඊට මූන දාලා තියෙන අනිත් බංකු වල තමයි අපි වාඩි වෙන්න ඕනේ. එක බංකුවේ 7ක් විතර තද කරලා වාඩි කරවලා, වටේට පු‍ටු තියලා ඒවයෙත් කට්ටියව වාඩි කරවනවා,. ඊට පස්සේ වාඩි වෙලා ඉන්න එක එක් කෙනාගේ හෑල්ල කියවන එකයි සින්දු කියන එකයි තමයි අපි කරේ. ඔය හෑල්ල කියලා කියන්නේ අපි ගැන විස්තර කියන එකට. අපේ ඒ ලෙවල් විභාගේ රිසල්ට්ස් කියන්නත් අපිට තිබුනේ අමුතුම වචන සෙට් එකක්. කොල්ලෙක් නම් රිසල්ට්ස් කියන්න ඕනේ ගල් බෝතල් වලින්. A එකට කිව්වේ ගල් බෝතල් එකක් කියලා,  B එක ගල් බෝතල් බාගේ.
කෙල්ලොන්ට තිබුනේ හුන්ඩු වලින්. A එකක් නම් හුන්ඩු එකයි, ... ඔය විදියට. :)

දවසක් මම ඔය ‍රැග් එක දෙන වෙලාවේ හිටියේ ඉස්සරහම තිබුන බංකුවේ මෙහාම කොනේ වාඩි වෙලා,. එතනම ඉස්සරහ බංකුවේ තමයි අපේ සීනියර් අයියලා ටික වාඩි වෙන්නේ, එදා අපේ අයියලාට ටිකක් විතර වැඩිපුර තරහ ගිහින් තිබුන දවසක්. මාත් ඉතින් බය බිරාන්ත වෙලා හිටියෙ අයියලාගේ ලඟින්ම වාඩි වෙන්න වුන නිසා. බය වැඩි කමට අතේ තිබුන පෑනේ විල්ල අරිනවා වහනවා, මෙහෙම ඇර ඇර හිටපු පෑන් විල්ල මගේ අවාසනාවකට එක පාරට වීසික් වෙලා උඩින් ගිහින් වැ‍ටුනේ මම අර හැමදාම කියන අයියා ගාවට,. ;) :D


කුම්භලා මාළු කෑව නම් විඳවාපන් බලලෝ කිව්වලු. :P  එයාටත් එදා හොඳ ගානට තද වෙලා හිටියේ,

"උඹට එක විදියකට අත පය තියාගෙන ඉන්න බැරිද?"

එක පාරට මා දිහා බලපු අයියා එහෙම අහපි, මොනවා කියලා කියන්නද, ඒ ගොල්ලන්ට මල පැනලා ඉන්න වෙලේ මොන දේ කිව්වත් වැඩක් නෑ කියලා දන්න නිසා මමත් කට වහගෙන පැත්තකට වුනා. බැනිල්ල නම් දැන්ම ඉවර කරන්න තරම් අයියගේ හිත පිරුනේ නෑ වගේ,

"ගනින් ක්ලිප් එක ඇහිඳලා,"

කියන දේ පූස් පැටියා වගේ කරන්න ඕනේ නිසා මාත් බය වෙච්ච පෙනුමෙන්ම ක්ලිප් එක අතට ගත්තා,

"හරි, දැන් ගහගනින් ඕක කොන්ඩේ, උඹ ගහන් ඉන්නේ කොන්ඩ කට්ටක් කියලා හිතාගෙන ගහගනින්"

මලාම තමයි, මට පොඩි අවුලක් තියෙනවා ඔය වගේ දේවල් කිව්වම මට ඒක කරන විදිය මැවිලා පේනවා, මැවිලා පෙනිලා හිනා යනවා,. මේකත් කිව්ව ගමන් මට මාවම මැවිලා පෙනුනා, හිතාගන්නකෝ ගොතපු කොන්ඩේ පැත්තකින් පෑන් විල්ලක් ගහගෙන ඉන්න කෙල්ලෙක්ගේ විදිය ගැන,. හිකිස්.,.. :D :)
ආයෙමත් මගේ අර නෝන්ඩි හිනාව එලියට පැන්නේ මටත් නොදැනි.. :D 

ඒත් කරන්න දෙයක් නෑනේ, හිනාව බොහොම අමාරුවෙන් නවත්තගෙන මම කොන්ඩෙට පෑනේ ක්ලිප් එක ගහගත්තා, මම හිනාව තද කරගත්තත් අයියට නම් මම ඒක ගහගන්න විදිය දැකලා යාන්තමට හිනා ගිය බව මට හොඳටම තේරුනා. හී හී.. :D

ඔන්න ඔහොම තමයි අමාරුවෙන් වුනත් මම ‍රැග් කට්ට කෑවේ, කතා නම් ගොඩයි , මතක් වෙන මතක් වෙන වෙලාවට මම කියන්නම්කෝ,.
ඕනෙම කෙනෙක්ට ‍රැග් කාලේ  තරම් සුන්දර කාලයක් නම් ආයෙමත් මේ කැම්පස් ජීවිත කාලේ පුරාවටම ලැබෙන්නේ නෑ. ඒ නිසා ‍රැග් එක වුනත් දෙන එක හොඳයි කියලා තමයි මම නම් හිතන්නේ, ශාරීරික හිංසා නැතුව හැමෝටම සතු‍ටු වෙන්න පුළුවන් විදියේ දෙයක් ඒකෙන් වෙනවා නම්, ඒ සුන්දර මතකය කැම්පස් එකේ ගෙවෙන අවුරුදු හතර පුරාවටම හිතට සතුටක් ගෙනේවි. 

මම උඩ තියෙන රූපේ තෝරගත්තේ අපේ කැම්පස් එකේ හැමෝම මමයි මගේ හොඳම යාළුවෝ දෙන්නටයි කියන්නේ THREE IDIOTS කියලා නිසා :D. 



CONVERSATION

29 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. අැත්ත කියන්නං කතාව කියෙව්වෙ නෑ!

    මම ඊයෙත් පැයක් වාද කලා කැම්පස් ලමයෙක් එක්ක, මම අැහුවෙ එකම ප්‍රශ්ණයයි!

    අැයි තොපි තොපේ මයිලකටවත් හිරිහැරයක් නොකරපු උන්ට හිරිහැර කරන්නෙ!

    පහුගිය පැය තිස්දෙකටම උත්තරයක් ලැබුනෙ නෑ, එකක් ෂුවර්! අනිද්දටත් දෙයියො රවට්ටන්න පල්ලි නං යයි!
    මොකා කොහෙදි මොකට කරත් හිංසාව හිංසාවමයි!

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. හත්තිලව්වේ. මොනතරම් සුන්දර රැග්එකක්ද? අපිට නම් ඕවට අමතරව තව තව ඒවත් තිබුණා :D

    ReplyDelete
  4. හපොයි...මට මැවිලා පේනවා....:)))

    ReplyDelete
  5. කොල්ලෙක් දිහා ඇහැක් ඇරලවත් බලල නැතිලු.....

    අදහස් ප්‍රකාශ් කිරීමෙන් වැලකී සිටිමි

    ReplyDelete
  6. @ ළහිරු රත්නායක : කැම්පස් වල ‍රැග් කියලා ඔයා කියන්නේ අමානුශික ‍රැග් ගැන නම් මමත් ඔයා එක්ක එකගයි.. එත් මෙතන ප්‍රාර්ථනා කියලා තියන ‍රැග් නම් ඒ වෙලාවට පොඩ්ඩක් බය වෙලා උන්නත් පස්සේ මතක් උනහමත් හිනහා යන ඒවා.... ඒවාගේ දේවල් විදින්නේ නැතිව කැම් ලයිෆ් එකෙන් වැඩක් තියනවා කියලා හිතනවානම් ඇත්තටම ඒක වැරදියි....

    ReplyDelete
  7. හික්හික්
    අර චුට්ටක් වෙලා කල්පනා කරලා කට අතින් තදකරගෙන බක බක ගාලා හිනා වෙන එක නම් මාත් දැකලා තියෙනවා :P :P
    චුට්ටක් වෙලා කල්පනා කරන එක මං හිතුවෙ වෙන ලෙඩක් කියලා.. අදනෙ දන්නෙ මැවිලා පෙනවා කියලා :P

    ReplyDelete
  8. අපිටත් ඔය වගේ රැග් වගේම වෙන වෙන ඒවත් කන්න උනා..
    තව සමහර අයට ඊටත් වැඩි..අමානුෂික වධාත් ඔය විදියටම දෙනවනේ..ඒකට නම් මම සම්පුර්ණයෙන්ම විරුද්දයි...:/
    කතාව නම් ලස්සනයි අක්කියෝ..:)

    ReplyDelete
  9. අපටත් ඔය විදිහටම රැග් කන්න උනා. කොටින්ම මාස 6ක් රැග් උනා. ඒ කාලේ එපාමකරපු කාලයක් උනත් පස්සේ මතක් කරලා හරි හිනා වෙන්න තියෙන්නේ ඒ ටික විතරයි.

    අපට දවල් බත් එකේ තිබ්බ කරපිංචා රම්පේ සේර කෑලි කටේ දාගෙන හපන්න කියනවා. අම්මෝ ඒ නිසාම අපි මීටර් එක දාලා බත් එක ගත්ත ගමන් ටාර් ගාලා අර සේරම කුණු බාල්දියට හලගෙන එනවා. :)

    මට නම් ස්විස්ටර්ලන්තය, ෆ්‍රිජ් එක, ප්ලග් එක, හීටර්, මනෝ පුටු , සීතල පුටු වගේ ඒවා අමතක වෙන්නෙම නෑ. ඒවා ටිකක් අමාරු ගණයේ ඒවා උනාට පස්සේ තමා ඒවයේ ෆන් තියෙන්නේ.

    ReplyDelete
  10. අදත් පරක්කු වෙලා ....
    ඊලඟ පෝස්ට් එකේවත් වෙලපහ එන්න ඕනා.

    ReplyDelete
  11. @තනි අලියා- ශාරීරික හිංසාවන්ට මමත් අකමැති මල්ලියො. ඒත් මම මෙතන කියල තියෙන දේ කියවන්නෙවත් නැතුව ඔයා වැරදි වැටහීමකිනුයි අදහස් දක්වලා තියෙන්නේ.. මම මෙතන කිව්වේ අපේ කැම්පස් එකේ අයියලා අපිට දීපු රැග් එක ගැන. හිනා වෙන දේවල් මිසක් අඬන්න වෙන දේවල් එතන වුනේ නෑ.. යක්කු වගේ ඉන්න අමානුශික "සින්නො" ටිකක් නෙවෙයි අපිව රැග් කලේ,, අදටත් ඒ සීනියර් අයියලාට අයියේ කියලා ගෞරවෙන් කථා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ එයාල අපිට දුන්නේ අමානුශික රැග් එකක් නොවන නිසා.. ඒ ගොල්ලොන්ට "සින්නො" කියන වචනෙවත් පාවිච්චි කරන්න මම අකමැතියි..

    ReplyDelete
  12. @Chandika- හෙ හෙ, ඒ කාලේ තමයි සුන්දරම කාලේ, දැන් නම් ඉගෙනීම ගැන හිතනවා ඇරෙන්න පොඩ්ඩක් හිනාවෙන්න සතුටු වෙන්නවත් වෙලාවක් නෑ.. :)

    ReplyDelete
  13. @සයුරි අක්කා- හපොයි, ඔයාටත් මගේ ලෙඩේම තියෙන බව මම දැනගෙන හිටියේ නෑනේ... හෙ හෙ.. :D

    ReplyDelete
  14. @පොඩි මෑන්- :O අනේ ඇත්තට ඔයාට ඒක ඇරෙන්න වෙන මුකුත්ම පෙනුනේ නැද්ද පොඩ්ඩෝ.. හපොයි,,, :D :D

    ReplyDelete
  15. @දේවා අයියා- මමත් අමානුශික රැග් වලට නම් අකමැතියි අයියේ. ඒත් අයියා කියන්න වගේ මම කිව්වේ රැග් කාලෙ වුන රසවත් සිදුවීම් ටිකක්. ඒවා නම් අදටත් මතක් ක්‍ර කර හිනාවෙන්න පුළුවන්.. :)

    ReplyDelete
  16. @bunny මල්ලියා-හෙ හෙ,, හපොයි..ලෙඩක් කියලද හිතුවේ.. මට ඇති ලෙඩක් නැ හලෝ,.

    ReplyDelete
  17. @ගිනි කුරුල්ලා- ඔව් මල්ලියෝ, අමානුශික ඒවා නම් හරි නෑ තමයි. ඒත් අපිට ඒ වගේ රැග් එකක් ලැබුනේ නෑ..

    ReplyDelete
  18. @මධුරංග අයියා- ඔව් අයියේ, දැනටත් අපිට කැම්පස් එකේ ඇවිදිනකොට හිටපු ගමන් අර පරන දේවල් මතක් වෙලා හිනා යනවා,. අපිටත් කරපිංචා එහෙම නම් කන්න කිව්වා.. ඒත් කන වෙලාවට නම් වද දුන්නේ නෑ අපේ අයියලා,. ඉඳලා හිටලා කොල්ලෙක්ට බිත්තරයක් එහෙම ගිල්ලෙව්ව, එච්චරයි. අපිට න ම් අයියා ඔය අන්තිමට කියපු ඒවා මුකුත්ම තිබුනේ නෑ..

    ප.ලි- පරක්කු වුනාට කමක් නෑ අයියා අනිවාර්යෙන් මේ පැත්තෙ එන්න, මගේ ලොකු අයියගෙන් කමෙන්ට් එකක් නැති වුනොත් වැඩක් නෑනේ මේ නංගිට. :)

    ReplyDelete
  19. අද තමයි මේ පැත්තට අවේ .... සුන්දර තැනක් නේ ...

    ReplyDelete
  20. @sanjaya සිතුවිලි- ස්තූතියි, සාදරයෙන් පිළිගන්නවා සිත් අහසට.. :)

    ReplyDelete
  21. මොනවා වුනත් රැග් එකට මම විරුද්දයි.අපේ කොල්ලෝ අලුතින් අපු එවුන්ට රැග් කරද්දී මම පුළුවන් විදියට වුන් රැග් එකෙන් බේරනවා.මොකද රැග් කාලා මම චා උන නිසා අනිත් උනුත් චා වෙන එක නවත්තන්න තමයි එක කරන්නේ.

    ReplyDelete
  22. හ්ම්ම්.. අපෙ නම් එච්චර සැර රැග් එකක් තිබුනේ නෑ. නිකන් රඟපාන්න, සින්දු කියන්න වගේ දේවල් තමයි තිබුනේ.. අමානුශික රැග් එකකට නම් මමත් විරුද්ධයි

    ReplyDelete
  23. හා හා.. හරිම ෂෝයි..!!! නියම අත්දැකීම්ක්:) මටය් මගේ යාලුවො දෙන්නටයිත් අපේ ඉන්ස්ටිට්යුට් එකේ අය කියන්නෙ 3 idiots තමා.. අක්කියි මායි හොදටම ගැලපෙනවා.. හික්ස්ස්ස්ස්ස්...;)

    ReplyDelete
  24. හෙ හෙ හෙ.. ඒකනේ අපි දෙන්නා හිතන්නෙත් එකම විදියටනේ නංගෝ,,

    ReplyDelete
  25. මාරු රැග් කතාව.මේ ඔයාගෙ කාර්ඩ් එක මොකද්ද අලොz

    ReplyDelete
  26. හපොයි... අහන්න ඕනම නැති ප්‍රශ්නෙනේ ඔයා ඇහුවේ.. මම නම් කියන්නේ නැතෝ...

    ReplyDelete
  27. ස්තූතියි නගේ මගෙ පෝස්ටුවට පාර පෙන්නුවාට.ඉස්කෝලෙ ජීවිතේටත් වඩා ෆන් ගත්ත තැනක් නෙ කැම්පස් එක කියන්නෙ.මතක් වෙනකොට ආයෙත් යන්න හිතෙනවා.

    ReplyDelete
  28. හරිම ලස්සනයි අක්කේ කතාව නමි..... ඉක්මනට අපේ A/L Resultz ත් එනවා නමි කියලා හිතුණා

    ReplyDelete
  29. කැළණිය කැම්පස් එකේ 2000 - 2002 කාලයේ හිටපු මම රැග් එක කාලත් නෑ... දීලත් නෑ...

    ReplyDelete

Back
to top