෴යළි ඉපදෙන්නෙමි ඔබ ගැන මතකය අතීතයට පුදලා෴



කැරකැවෙන පංකාව මත
මැවෙන සෙවනැලි වල
රටාවක් සොයා වෙහෙසුනෙමි,
නුඹ ගැන සිහි නොවන්නට...


සුළඟින් සැලෙන මකුළු දැල් වියමනක
නූල් එකින් එක ගනන් කලෙමි,
යලි යලිත් , යලි යලිත්,
ඔබගේ මතකයන් මකන්නට...


විදුලි බුබුලෙන් නැගෙන එළියට
දෑස යොමමින් ‍රැ‍ඳෙන්නට සිතුවෙමි,
දෙනෙතට කෙතරම් රිදුම් දුන්නත්,
ඔබේ සිනා සිහි නොවන විලසට.


නමුත් අවසන
පැරදුනේ මමයි, 
ඇසුත් රිදවාගෙන
හිතෙත් පැටලිලි හදාගෙන,
ඔබත් මතකයේ තබාගෙන...


මේ මම එයා වෙනුවෙන් ලියන අන්තිම කවිය, 
ඔබත් මතකයේ තබාගෙන කියලා කිව්වත් දැන් මගේ හිතෙන් ඒ මතකය මිය ගිහින් ඉවරයි,. පැටලිලි, කඳුළු, පසුතැවීම් හැමදේම අදින් ඉවරයි. 


මේ දවස් වල මට හැම දෙයක්ම එපා වෙලා. කිසිම හේතුවක් නෑ, ඒත් කිසිම දෙයක් කරන්න තරමට හිත නිදහසක් නෑ, අඩුමගානේ වෙනදා හිතට නිදහසක් ගත්ත බ්ලොග් එක දිහාවත් බලන්න හිතෙන්නේ නෑ.. ඒ නිසා මම අද හිතුවා මේ හැමදෙයක්ම ලියලා ඉවරයක් කරලා දාන්න.. ආයෙමත් නොඅඬා ඉන්න. මගේ දින පොත් වල පි‍ටු ගනන් ලියපු, බ්ලොග් එකේ කවි පද ලියපු ඒ ආදරේ ගැන ආයෙමත් නොහිතා ඉන්න. ලැජ්ජයි මටම මගේ ගැන, මම බ්ලොග් එක පිරෙන්න ලියපු ඒ ආදරේ ගැන.. ඒ ආදරේ අඩුවක් නිසා නෙවෙයි, දැන දැනම මම මිරිඟුවක් පස්සේ දුවපු නිසා.. වතුර බිංදුවක් හරි බලාපොරොත්තුවෙන් මගේ හිත කාන්තාරයක් මැඳ අතරමං වුන නිසා. ඔය වගේ දේවල් කෑ ගහලා කරනවට තොට හොඳ පාඩම කියලා මට නොකියා කියපු අය හිටපු නිසා. 

ඇත්ත, මම කෑ ගැහුවා... ඒ හිතේ තිබුන සතුට පිටකරගන්න වෙන විදියක් නොතිබුන නිසා, ඒ ආදරේ හිත ඇතුලේ තියාගෙන විඳවන්න බැරි නිසා. වෙවුලන අතින් මේ හැමදේම ටයිප් කරද්දි මටවත් නොදැනි මෙච්චර කල් හිතේ තද කරගෙන හිටිය කඳුළු ඇස් වලින් එළියට පනින්නෙත් ඒ නිසාම වෙන්න ඇති.. මම ඇඬුවේ නෑ, හැමදාමත් ඒ රූපේ දැක දැක මම හිනා වුනා ඒ ටික කලක් හරි මාව හිනස්සපු ඒ හිතට මම තාමත් ආදරේ නිසා වෙන්න ඇති. ගලන් යන එක කඳුළු බිඳුවකින්වත් එයාගෙ  හිතට දුකක් දෙන්න බැරි නිසා වෙන්න ඇති. මම දන්නවා මේ පෝස්ට් එක කියවලා මට ලෙංගතු අය සමහරවිට මට බනීවි. ඒ වගේ කෙනෙක් වෙනුවෙන් කඳුළු හලන්න එපා කියාවි. ඒත්, එයාට බනින ඔයාට එයා මේ ලෝකෙ ඉන්න මිලියන හතක ජනගහනයෙන් තවත් පුද්ගලයෙක් විතරයි. ඒත් මට... හ්ම්ම්.... 

මම කිසිම දවසක ජීවිතෙ ගිය දේවල් ගැන පසුතැවිලා නෑ. කිසිම දෙයකට මම පරක්කු වැඩියි කියන හැඟීම මට කිසිම දවසක දැනිලා නෑ. ඒත් ජීවිතේ පළවෙනි වතාවට " අනේ මම තව ටිකක් ඉස්සෙල්ලා එයාගේ ජීවිතේට ආවා නම් " කියලා මට පළවෙනි වතාවට හිතුනේ ඒ ආදරේ පෙනි පෙනී මගෙ ඇස් මායිමෙන් ඈතට යන්න පටන් ගත්ත දවසේ. ඒත් මම පරක්කු වැඩියි. ගොඩක්ම පරක්කු වැඩියි... එයාටම මම කියලා යැව්වා වගේ තරහක් නෑ කවදාවත්ම මගේ හිතේ, ඒ... මම සමහරවිට එයාගෙන් ආදරේ විඳපු නිසාම වෙන්න ඇති.සමහරවිට මගේ හිතට අමතක නොවන මතකයන් එකතු කරන්න තරමට ඒ හිත දක්ෂ වුන නිසා වෙන්න ඇති.

කමක් නෑ, ජීවිතේ කියන්නේ ගලාගෙන යන ගඟක් වගේ කියලා මම කලින් දවසකත් කිව්වා. ඉතින් ගල් පර එකක් දෙකක් මුණ ගැහුනට ඒ ගඟ නතර වෙන්නේ නෑ, වෙනදා විදියටම ගලාගෙන යනවා. ඉතින් මමත් අද ඉදන් ජීවිතේ දිහා අළුතින් බලන්න පටන් ගන්නවා. මීට කලිනුත් මේ විදියට හිතුවත් හිතේ දුක තියාගෙන හිත හදාගන්නේ නැතුව ආයෙමත් ජීවිතේ පටන් ගන්න හිතන තරම් ලේසි නෑ. හිත නිදහස් කරගන්න මට තියෙන එකම තැන මගේ ආදරණීය බ්ලොග් එක. ඉතින් දැන් එයා මගේ දුක අහවි. විසඳුමක් දෙන්න බැරි වුනත් "තොට හොඳ වැඩේ ඔහොම කරාට " කියන වචන ටිකෙන් මගේ හිත රිද්දවන්නේ නැති වේවි... අද ඉඳන් කවි කථා වලින් මේ බ්ලොග් එක වෙනදා වගේම පිරුනත් ඒ එකක්වත් මගේ හිත නොදැනුවත්වම හරි රිදවපු එයා වෙනුවෙන් ලියවෙන කවි නොවේවි. 


ඉතින් හැමදේම අතීතයට එකතු වෙද්දි මම ආයෙමත් අළුත් ඇහැකින් ලෝකය දකින්න පටන් ගන්නවා. සාර්ථක වේවිද නොවේවිද? මම දන්නේ නෑ. ඒත්... ආයෙමත් දුර්වල වෙන්නේ නෑ මම. අළුත් ජීවිතයක්, අළුත් බලාපොරොත්තු ගොඩක් එක්ක ජීවිතේ දකින්න උත්සාහ කරනවා. එක තැන පල් වෙන දිය පාරක් නොවී ගලාගෙන යන ගඟක් වෙන්න පුළුවන් තරම් උත්සාහ කරනවා. ඉතින් අළුත් ප්‍රාර්ථනා එක්ක ඔයාලා හැමෝම ඉඳීවි කියලා මම හිතනවා,. :)


ප.ලි- හිතේ තිබුන වේදනාව පිට කරගන්න විදියක් නැතුව ඉන්නකොට පොඩි දේටත් තරහ ගිය  මගෙන් බැනුම් අහගෙන, මගේ විකාර කථා ඔක්කොම අහගෙන මා එක්ක හිටපු මගේ යාළුවෝ හැමෝටම ගොඩාක් පින්. :) 

CONVERSATION

27 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. අද මමත් ඔන්න follow කරා, අලුත් ජීවිතයට සුබපැතුම් :)

    ReplyDelete
  2. හ්ම්..... දිරිය ගන්න නංගි... අලුත් ජීවිතේට සුභ පැතුම්

    ReplyDelete
  3. ප්‍රාර්ථනා අක්කේ.. ඉස්සෙල්ලම අලුත් ජීවිතයට සුබ පතල ඉන්නම්.. ඉස්සරහට එන දවස් අක්කිට ගොඩාක් ලස්සන ගොඩක් සතුටින් ගොඩක් හිනාවෙලා ඉන්න පුලුවන් වෙන දවස් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..

    මටත් ගොඩක් සතු‍ටුයි අක්කි ගත්ත තීරණය ගැන. :D
    කවුරු අක්කිව දාල ගියත් මේ මල්ලියා අක්කි එක්ක හැමදාම ඉන්නවා.. :D

    ReplyDelete
  4. සුභ පැතුම් අක්කියො! හොඳට ඉගෙනගන්න! :)

    ඔහොම වෙලාවට මම දැකල තියන බොහොමයක් දෙනා කරන දේවල් දැක්කම,.. අක්ක ගන ගොඩක් සතුටුයි! :)

    ReplyDelete
  5. හ්ම්ම් දැන් හරි ඒක ඉවර කළා නම් ඒ ඇති. ඕක පැරදුමක් නෙමෙයි, හොඳ අත්දැකීමක් කියල හිතන්න. ඒකෙන් තවත් හිත හයිය කරගන්න. එතකොට ආයෙත් ඔය වගේ දේවල් වෙන්න ඉඩක් නෑ. ඒක තමයි ජීවිතේ කියන්නේ, වැරදුනු තැන් වලින් තමයි පාඩම් ඉගෙන ගන්න ඕන.

    අනිත් එක ලැජ්ජ වෙන්න නම් කිසිම හේතුවක් නෑ හොඳද. අනිත් කෙල්ලෝ ඔය වගේ දේවල් හිතේ තියාගෙන ඒ මුකුත් පෙන්නන්නේ නැතුව ආඩම්බර කමට ඉන්නකොට, ඔයාට ඔයාගේ ආදරේ ලෝකෙටම ඇහෙන්න කියන්න තරම් හිත හයිය තිබුනා. ඒ ගැන ආඩම්බර වෙන්න. ලැජ්ජ වෙන්න ඕන එහෙම බැරි අය.

    හදවතින්ම සුභ පතනවා අලුත් ගමනක් යන්න.

    ReplyDelete
  6. අක්කට හදවතින්ම සුභ පතනවා....දන්නවමේ මේ නංගිත් ප්‍රිර්ථනා කළේ මොකද්ද කියලා....එදා මන් කීවා වගේ, ගැණු අපේ හිත් හයියයි...ඕන දුකක් දරන්න පුළුවන් විදියට....කඩා වැටුණට එක පාරක් නැගිටින්න පුළුවන් ඒ හයිය නිසාම....ඒ නිසා මේ ජීවිතේ ඉදිරියටම යන්න පුළුවන්...හැමදාම මාත් ඔයත් එක්ක ඉන්නවා....


    ආ අර ඔයාගේ ආදරේ ගැන මේ බ්ලොග් එකේ දැන්මට, එක එක ඒවා කියපු අය ගැන වැඩිය හිතන්න ඕන නැ....කසුන් කීවා වගේ ඔයාට ඒ දේ ලෝකෙටම කියන්න තරම් හයියක් තිබුණ එක ගැන ආඩම්බර වෙන්න....

    ඔන්න එහෙනම් අළුත් ජීවිතයට ජය හා සතුට......

    ReplyDelete
  7. ඔන්න ඔහොම නේ ඉන්ඩ ඔන..ජිවිතේ අලුතින් පටන් අරන් ජිවිතේ දිනන්ඩ..ආ අප්‍රියෙල් මාසේ පොඩි වැඩ වගයකුත් කොරන්ඩ තියෙනව නේද...ඒවට සප් එක දෙන එකයි ඇත්තේ...

    ReplyDelete
  8. හුඟාක් සතුටුයි අක්කි!! ඒ මොකද දන්නවද? ඔයා ජීවිතේ තේරුම් අරන් අලුතෙන් පටන්ගන්න හිතපු එකට. අක්කිගෙ ඕනම දේකට මේ හිතූ නගා ඉන්නවා .. මම හැමදාමත් අක්කට ඔය ප්‍රශ්නෙ ගැන විසදූමක් හොයාගන්න හැටි මට තේරෙන හැටියට කිව්වා..අද අක්කිම විසඳුමක් හොයාගෙන.. හුඟාක් සතුටුයි!!

    ආදරේ කලාට, ආදරේ ගැන ලිව්වට ලැජ්ජා වෙන්න එපා අක්කි කවදාවත්ම. අවංකව ආදරේ කරලා, පැරදුනත් ලැජ්ජා වෙන්න ඕනෙ නෑ.

    අක්කි ලොකු ගමනක් යයි!! ශුවර්!! ඉස්සරහට යන්න අක්කියාට සුභ පතනවා... ජය වේවා!!! :*

    ReplyDelete
  9. ගිලිහී යන හැමදෙය
    ගිලිහී ගිය හැමදෙය
    ලං කරගත නොහැකි බව
    දැනෙන තුරා සිතට
    උත්සාහය අත් නොහැර.......

    දැනුන දා අහිමි බව
    සැනසුනෙමි ඉකි නොබිඳ...

    හොඳට හිනාවෙලා ඉන්න අපි ආශාවල් පස්සේ දුවල හිත රිද්ද ගන්නවා.....ජීවිතේ හැටි එහෙමලු..
    හ්ම්ම්ම්...
    හැමදෙයක්ම අතීතෙට පවරලා ආයෙත් හිනා වෙලා ඉමු...:) :)
    අලුත් ජීවිතේට සුභ පැතුම් යාලුවා...:)

    ReplyDelete
  10. සුබ පැතුම්..වැටෙන නැගිටින නැගිට වැටෙන ගලන ඇවිදින
    සොඳුරු දෙයකට අපි ගඟක් කියනවා
    ජීවිතේ ගඟක් නම් හැමදේම තියන
    අවසානයේ සතුට කියන මුහුද හමුවේ
    ආදරයෙන් ජීවිත සන්තානයට ගොඩවෙනවා
    සුබ අනාගතයක් අක්කේ

    ReplyDelete
  11. http://shayanga.blogspot.com/2012/02/blog-post_08.html

    ReplyDelete
  12. මම හිතන්නේ මම කියන්න ඕන හැමදෙයක්ම ඔයාට කිවුවා මුහුණුපොතේදි.. පරාජය ලග ඉදන් අළුතින් හිතන්න පට ගන්න.. ඔයාට ඔයා ප්‍රාර්ථනා කරන අළුත් ලෝකයක් හදා ගන්න ලේසියි..

    ReplyDelete
  13. එක දොරක් වැහෙන්නේ තව දොරක් ඇරගෙන නංගි...අලුත් ජීවිතේට සුබ පැතුම්..පරණ දේ ගැන අමතක කරන්න උත්සාහ කරන්න

    ReplyDelete
  14. ජීවිතේ කියන දේ තව ගොඩක් දුර යන්න තියනවනේ..ඉවසීමෙන් ඉන්න..

    ReplyDelete
  15. මම මේ පැත්තට අදයි අවෙ.

    නිසඳැස් කවිය නම් විශිෂ්ඨයි. හොඳම කවි සිතක්. ඒ කවිය ගැන

    මේ පැරදීම ගැන.
    කුමන පරාජයක දී වුවද වැටුනාම ඊට වඩා ශක්තිමත්ව නැගිටින්න. ගෙවුන ඊයේට වඩා එළඹෙන හෙට දවස වටී.

    ReplyDelete
  16. නංගි,පුංචි දේවල් ටිකක් කියන්නම්.
    තමන් හරියි කියල හිතන දේ කරන්න.අනුන් කියන දේවල් අහන්න.හැබැයි තමන්ට හිතෙන දේ කරන්න.තමන් හරියි කියල හිතපු දේ කරල වැරදුනාම දරාගන්න එක ලේසියි අනුන් කියපු දෙයක් කරල වැරදුනාම දරාගන්නවට වඩා.
    අනිත් එක ආදරේ වේවා ජීවිතේ වේවා කාටත් වරදිනව.ලෝකෙ ප්‍රථම ප්‍රේමෙ කියල එකක් තියෙන්නෙ,දෙක තුන වගේ ඒවත් තියෙන නිසානෙ.ඔය වාගේ අන්තිම කවිත් එකට වැඩිය ලියවේවි.ගනන් ගන්න එපා.ඒත් එකක් කියන්නන්. වැරදුන එකාට විතරයි කවදහරි සාර්ථකත්වයේ උපරිමය විඳින්න පුලුවන්.කියපුව ගැලපෙනවද දන් නෑ.ඒත් නොලිය යන්න බැරි උනා.ඉතින් දිගටම ලියන්න.

    ReplyDelete
  17. මම මොකුත් කියන්න ඕනද ????

    ReplyDelete
  18. One have to be really strong to love another person, when you know that the other person will never be yours. Just to love without expecting anything in return.... I'm also going through the same. Good luck friend !!! you are neither the first nor the last.

    ReplyDelete
  19. අලුත් ජීවිතයට සුබපැතුම් අක්කෙ!:)

    ReplyDelete
  20. සුභ පැතුම් අක්කේ...

    මමත් කාලෙකට ඉස්සර ඔහොම හිතලා හැමදේම අමතක කළා. එදා ඉදන් තාම මම දින පොත ලියන්නේවත් නැහැ. එකත් නතර කළා

    ReplyDelete
  21. මේ අළුත් මංපෙතේ ජීවිතයෙන් සුබ අස්වනු නෙලන්නට.. හදවතින්ම සුබ පැතුම් නංගියෝ...!!! :)

    ReplyDelete
  22. අදමයි කියවන්න විවේකයක් ලැබුනේ.
    මොනා කරන්නද නංගි ජීවිතේ හැටි නෙව ! නැති වෙච්ච දේවල් ගැන පසුතැවිලි වෙවී ඉන්නේ නැතුව අළුතින් පටන් ගන්න හිතපු එක ලොකු දෙයක් !

    වෙනදා වගේම හොදට වැඩ ටික කරගෙන යන්න !

    ReplyDelete
  23. ම්ම්ම්....
    ජීවිතේ ඔහොම තමයි. ලැබෙන දේ අපි බාරගන්න ඕන. ඒත් අපි හිතන පතන දේවල් ලියන දේවල් ගැන කවදාවත්ම ලැජ්ජවෙන්න පසුතැවෙන්න එපා. මොකද එ අපේම හැගීම්... අපේම ඒවා.

    ReplyDelete
  24. හැමෝටම ගොඩාක් ස්තූතියි මගේ යාළුවනේ...

    ReplyDelete
  25. අපිට නැගිටින්න පුලුවන්ද කියල දැනගන්න පුළුවන් වෙන්නෙ අපි වැටුනොත් විතරයිනෙ sweet matziii..අනික එහෙම වැටුණු වෙලාවට 'වැටුණෝ..වැටුණෝ..' කියල කෑ ගගහ ඉන්න අය අතරෙන් අපිට හිනාවෙලා නැගිටින්න පුළුවන්නම්, 'ඔව් මං වැටුණා ඒත් ආයේ කවදාවත්ම වැටෙන්නෙ නෑ' කියල හයියෙන් කෑ ගහල කියන්න පුළුවන්නම් අන්න ඒක තමා ලොකුම ජයග්‍රහණය!!!!
    කවියත් ලස්සනයි..සුන්දර ඉදිරියකට ප්‍රාර්ථනා!!!!:) :)

    ReplyDelete
    Replies
    1. thanks a lot my sweet mattiiii.... මම දන්නවා මට කවුරු නැති වුනත් ඔයාලා ඉන්නවා කියලා.. :) ඉතින් මම සතුටින්..

      Delete

Back
to top