෴පුංචි රොසේටෝ෴ සුරංගනා කථාව, දෙවන(අවසාන) කොටස





මේ බාබායිගා යකින්න හරිම සැරයි. එයා ඉන්නේ කුකුල් කකුල් වලින් හැදුන ගෙයක. මිනී මස් කන බාබායිගා යකින්නගෙන් කිසිම සතෙකුට බේරෙන්න පුළුවන් කමක් තිබුනේ නෑ. ඉතින් දවස් 7ක් පැය හතක් විනාඩි 7ක්, තප්පර හතක් ගෙවාගෙන බාබායිගා යකින්නගේ රටට රොසෙටෝ පය ගැහුවා. මන්තරකාරී කියපු තරම් ලේසියෙන් වලාකුල ගාවට යන්න බෑ වගේ. බාබායිගා යකින්නගේ ගෙදර පහු කරගෙනයි එතනට යන්න ඕනේ. ඉතින් රොසේටෝ නුවණ පාවිච්චි කරා.මහන්සියෙන් වගේ බාබායිගා යකින්නගේ ගේ පහුකරගෙන යන්න හැදුවා.

"හපොයි හපොයි උණු ලේ සුවඳයි, උණු ලේ සුවඳයි"

එහෙම කියාගෙන බාබායිගා යකින්න ගෙයින් එළියට ආවා. රොසේටෝ දැක්කම එයාගේ කටට කෙළ ඉණුවා.

"හා හා, නාඹර අශ්ව මස්, අද රෑට මට කන්න පුළුවන්, කෙල්ලේ අර ලොකු හැලියට වතුර එකක්  තියාපන්. මට අද රෑට අශ්ව මස් කන්න ඕනේ"

එහෙම කියලා රොසේටෝ ගාවට ලං වෙද්දිම රොසේටෝ බාබායිගා යකින්නගේ දුර්වලම තැන වුන හදවතට ඉලක්කය බලලා පා පහරක් දුන්නා. බාබායිගා යකින්න එතනම මළා.
ඊට පස්සේ ගේත් පහුකරගෙන වළාකුල ගාවට ගියපු රොසේටෝ වලාකුලෙන් කෑල්ලක් ඉරලා මන්තරකාරී කිව්ව විදියටම දිදාලයට දාගත්තා. ඉන් පස්සෙ දිදාලය බිමින් තිබ්බාම පෙරලෙන්න පටන් ගත්තා, දිදාලය පෙරලෙනවා රොසිටෝ ඒ පස්සෙන් යනවා. ඉතින් එහෙම ගිහින් ගිහින් මන්තරකාරි කිව්වා වගේම කිරි ඉවුරකට ආවා. එතනම තිබුන චොක්ලට ගහේ හෙවනක වාඩි වෙලා එයා ලියමන වියන්න පටන් ගත්තා. දිවා රෑ නොබලා නිදියන්නෙත් නැතුව වියපු නිසා වියමන දවස් තුනයි පැය තුනෙන් වියලා ඉවර කරගන්න රොසේටෝට පුළුවන් වුනා. ඉන් පස්සේ මන්තරකාරී කිව්ව විදියටම එයාගේ දකුණු අත පැත්ත බලපු රොසේටෝ දැක්කේ ලොකුම ලොකු ඇපල් කොලයක්. ඒ ඇපල් කොලේට නැඟලා කිරි ඉවුරෙන් එහාට යන්න කියලා මන්තරකාරි රොසේටෝට කිව්වා. ඉතින් රොසේටොත් ඒ විදියටම කරා.
කිරි ඉවුරෙන් එහා පැත්ත හරිම පාළුයි. කිසිම දෙයක් නෑ. අඩුමගානේ ගහක් කොලක්වත් නෑ.

"අනේ මම කොහොමද මෙතනින් එහාට යන්නේ"

රොසේටෝට නිකන්ම කියවුනා. ඒ එක්කම රොසේටෝ දිහාවට දුවගෙන ආවෙ පුංචි මීමින්නෙක්.

ඔයා යන්න ඕනේ ඔයාට ඉස්සෙල්ලම හිතෙන පැත්තට. කොහෙන් ගියත් ඔයා යන්නේ අපේ රජ කුමාරිය නිදා ඉන්න කුටිය දිහාවට.ඉස්සෙල්ලම හිතෙන පැත්තට නොගියොත් ඔයාට ආයේ කවදාවත්ම ගෙදර යන්න ලැබෙන්නේ නෑ, ඉතින් යන්න ආයෙමත් පස්ස බලන්න එපා.

එහෙම කියලා රොසේටෝව ඉස්සරහට තල්ලු කරපු මීමින්නා යන්න ගියා. රොසෙටෝ ඉස්සෙල්ලම එයාට හිතුන පැත්තට යන්න පටන් ගත්තා. දිගටම මීදුමම විතරයි. රොසේටෝට පුදුම බඩගින්නක් ආවා. ඒත් කන්නවත් දෙයක් නෑ. එක පාරටම එයාට මතක් වුනා අම්මා දීපු හතු අතුරුපස. ඒකෙන් ටිකක් කන්න ඕනේ කියලා හිතාගෙන රොසේටෝ කෑම එක දිග ඇරියා. පුංචි පුංචි හතු ගොඩකින් හතු ටිකක් ‍තෝරගත්ත රොසේටෝ ඒක කන්න හැදුවා විතරයි එක පාරටම හතු රත්තරන් පාටට හැරුනා. කොච්චර රත්තරන් පාටද කියනවා නම් ඒ පළාතම ඒ රත්තරන් වල එළියෙන් එළිය වුනා. ඒ එළියෙන් පාර බලාගෙන යද්දි රොසේටෝ දැක්කා ලඟ ලඟම පේන පුංචි කුටියක්. ඒත් ඒක කොයිතරම් ප්ඩිද කියනවා නම් ඒ කුටියේ ජීවත් වෙන්න පුළුවන් සැළලිහිනියෙක් වගේ පුංචිම පුංචි කුරුල්ලෙක්ට විතරයි. ඒ වුනත් එතන තමා එයාගේ අනාගත බිසව ඉන්න තැන කියලා මීමින්නා කියපු නිසා රොසේටෝ එතනට ගියා, කුමාරියක්ව පේන්න නැති වුනත් මෙන්න ඉන්නවා ඒ කුටිය ඇතුලේ පුංචිම පුංචි කිරිල්ලියක්. ඇගේ ඇස් රන්වන් පාටයි, ගිනි බෝල දෙකක් වගේ. ඇගේ පිහා‍ටු තද කහ පාටිනුයි තද නිල් පාටිනුයි බබලනවා. එක පාර ඉරවල් දෙකක් පෑවුවා වගේ එළියක් ඇගේ ඇස් වලින් විහිදෙනවා. ඇගේ ගීත නාදය වීනා දාහක් එක පාර වාදනය කරන්නා වගේ මිහිරියි. රොසේටෝ එතනට ගියාම හෙමින් හෙමින් රොසේටෝ දිහා බලපු ඒ පුංචි කිරිල්ලිය මෙහෙම කියනවා

"ඔබ මාව සොයාගත්තා එහෙනම්, මගේ ආඩම්බරකාර රොසේටෝ, දැන් මම ඔබේම සෙයාරා. ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ, අපි යමු ඔබේ ගෙදර"

රොසේටෝට මේ කිසිම දෙයක් හිතාගන්නට බෑ. කුමාරියක් එක්කන් එන්නම් කියලා ආපු ඔහු ආපහු එන්නේ කිරිල්ලියක් සමඟ බව දැක්කොත් රටවැසියන් මොනවා හිතාවිද? ඒත් මේ තරම් ලස්සන කිරිල්ලියක් දමා යන්නටත් ඔහුට හිතෙන්නේ නෑ.

"රොසේටෝ, හිතන්නට කිසිම දෙයක් නෑ, හැමදේම හොඳම විදියට විසඳේවි"

ආදරයෙන් රොසේටෝ දිහා බැලුව කිරිල්ලිය එහෙම මුමුණනවා. ඉතින් රොසේටොත් ඒ බව විස්වාස කරලා ආයෙමත් එන්න පිටත් වුනා. දවස් දාහතරක් ගෙවුන තැන රොසේටෝ ආයෙමත් තමන්ගේ මවු රටට ගොඩ බැස්සා. රටවැසියෝ රොසේටෝ කරදරයකින් තොරව ආපහු ආව සතුටට දවස් 7ක් තිස්සේ සාද පැවැත්වුවා. ඉතින් ඒ සාද අවසාන වන දවසේ තමයි රොසෙටෝගෙත් සෙයාරාගෙත් විවාහ උත්සවය යෙදිලා තිබුනේ. අශ්වයෙකුත් කිරිල්ලියකුත් විවාහ වීම ඒ රටේ මිනිස්සුන්ට තමන්ගේ රජතුමා රොසේටෝ කුමරුට තිබුන ආදරේ නිසාම පුදුමයක් නොවුනත් මේ අරුම පුදුම මංගල්ල්‍ය බලාගන්න ලෝකේ පුරාම රටවලින් ගොඩාක් කට්ටිය ඇවිදින් හිටියා. චාරිත්‍රානුකූල විදියට විවාහය සිදු වුනාට පස්සේ පළවෙනි වතාවට රොසේටෝ තමන්ගේ ප්‍රිය බිරිඳ සෙයාරා කුමාරිකාවට හාදුවක් දුන්නා. ඒ හාදුවත් එක්කම වුනේ කවුරුවත්ම නොහිතපු දෙයක්. සෙයාරා කිරිල්ලිය ලස්සනම ලස්සන කුමාරියක් බවට පත් වුනා. ඇගේ ලස්සන කියලා නිම කරන්නටත් බැරි තරම්. ඒ වගේම අපේ රොසේටෝ අශ්ව කුමරු, ලස්සනම ලස්සන කුමාරයෙක් බවට පත් වුනා. ඔහු තරම් කඩවසක් කුමාරයෙක් මේ මුළු ලොකේම ඉඳලා නැතුව ඇති. ඒ වගේම සෙයාරා කුමරියගේ රටෙන් ආපු සත්තු හැමෝම කඩවසම් තරුණයෝ, තරුණියෝ බවට පත් වුනා...


කාටවත්ම හිතාගන්න බැරි වුනා සිද්ධ වුනේ මොකක්ද කියලා. එතකොට සෙයාරා කුමරිය රොසේටෝට හැම දෙයක්ම තේරුම් කරලා දුන්නා.

"මීට ගොඩාක් ඉස්සර කාලෙක එකම රටක ජීවත් වුන අපි දෙන්නාගේ සරණ පාවා ගැනීම දවසේ අපේ තාත්තාගේ තරහාකාරයෙක් වුන මන්තරකාරියක් අප දෙදෙනාටම සාප කරා. ඒ සාපය නිසා අපි මියගිහින් ඔයා අශ්වයෙකුත් මම කිරිල්ලියකුත් වෙලා ඉපදුනා. මගේ රටේ ජනතාව ඔක්කෝම එක එක සත්ව ආත්මයන්ගෙන් ඉපදුනා ඒත් මගේ පියාණන් කොහොම හරි මාව හොයාගෙන බාබායිගා යකින්නගේ රටට හොර රහසේම පණිවුඩ කරුවෙක් එවලා මට විස්තරේ කියා එව්වා. මාව හොයාගෙන මේ රටට එන එකම නිර්භීත කුමාරයා ඔයා කියලා මම දැනගෙන හිටියා. ඉතින් මගේ රොසේටෝ මම ඔයා මාව හොයාගෙන එනකන් මඟ බලාගෙන හිටියා. එදා ඔයාට මඟ කිව්වේ මගේ රටේ රට වැසියෙක්. ඔයාගෙ පළමු සිප ගැනීමෙන් අපි දෙන්නාගෙම සාපය ඉවර වෙන වග මගේ පියානන් මට දන්වලා තිබුනා. ඉතින් අදින් අපේ සාපය ඉවරයි. ඔයා මගේ රටවැසියන්වත් මාවත් බේරාගත්තා. ඔයාට ස්තූතියි"

ඉතින් ඔය විදියට රජ කුමරිය රජ කුමරුට ස්තූති කරා. ඉන් පස්සේ ගොඩාක් කාලයක් මේ රජතුමත් රජ බිසවත් බොහොම සැපෙන් ආදරයෙන් රට පාලනය කරා. කුමරියගේ පියාණන්වත් ඒ රටටම ගෙන්වා ගත්තා.


CONVERSATION

18 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. මේ කතාවේ මුල් කොටස කියවන්න බැරිවුණා. මගේ මතකයේ හැටියට ගිය සතියේ ඒක දාලා තිබුනේ. පොත් ප්‍රදර්ශනය තිබුණ නිසා ඒසතියෙම බ්ලොග් මග හැරුණා.

    ඒ කොහොම වුණත් සුරංගනා කතා වයස් බේදයකින් තොරව කියවන්න පුළුවන්. ඒවගේම යම් කිසි ආදර්ශයක් ගන්නත් පුළුවන්.

    ReplyDelete
  2. බැරිද අපිටත්....

    ReplyDelete
  3. ඊලග පාර කිරිල්ලියක් සෙට් උනොත් කිස් එකක් දීලා බලන්න ඕනා...

    ReplyDelete
  4. මට මතක් වුණේ අපේ තාත්තා උගන්වද්දි පොඩි ළමයිගෙ හිත් එකතැන තියන් ඉන්න කියන සුරංගනා කතා.. චොක්ලට් දිය ඇලි, සීනි බෝල,කිරිබත් කැට, බිස්කට් දොරවල්..
    අදවෙද්දි මේ දේවල් රසවිදින් පුංචි ළමයි නැතිවුණත් මේ කතා අපි කියවද්දි ආයෙ අතීතයකට යන්නෙ සැහැල්ලුවෙන්..

    කතාව ඉක්මන් වුණාදෝ කියලා හිතුණා.. ලස්සනයි නංගියෝ ගොඩක්..

    ReplyDelete
  5. හැමෝම සුරංගනා කතා ලියන් අරන් වගේ
    ලස්සනයි

    ReplyDelete
  6. ලස්සන කතාවක්!

    ම්....... ලඟදි පොත් ප්‍රදර්ශණෙං ගත්ත ග්‍රීක මිත්‍යා කතා ගැන පොතක්! :) .......... එ්කට වඩා මේක ලස්සනයි! :)

    ReplyDelete
  7. ලස්සන සුරංගනා කතාවක්! මං හිතුවා තව ගොඩාක් ඇති කියලා. පටන් ගන්නකො ප්‍රාර්ථනා, අළුත් නව කතාවක්, "තුහින වර්ෂා" වගෙ :))

    ReplyDelete
  8. ප්‍රාර්ථනා අක්කා සුරංගනා කතාවක් ලියලා.. හරි ෂෝයි! රෝසේටෝ මං තරම් ලස්සන කුමාරයෙක් වෙන්න නම් නැතුව ඇති!
    :)

    ReplyDelete
    Replies
    1. හික්ස්.. මල්ලි නින්දෙන්ද?? :p

      Delete
  9. නියමයි නගේ හොඳ නිර්මාණයක් අඩේ කොමේ බබයිගා යකින්න අග්.... ඒ ගැනි මලා නේව හරි හරි

    ReplyDelete
  10. මම මාරම ආසටයි මෙ වගෙ කතා වලට දිගටම ලියන්න...

    ReplyDelete
  11. කතාව නම් සුපිරි ඈ... !

    ReplyDelete
    Replies
    1. මත් කිරිල්ලියක් අල්ලගෙන උම්මා එකක් දීලා කුමාරියක් කරගන්ඩ ඕනා... :)

      Delete
  12. මම මේ පොස්ට් එක දැම්ම ගමන් කමෙන්ට් එකක් දැම්මා කෝ ඒක වැටිලා නෑනේ.....?

    ReplyDelete
  13. ඇත්තටම හරිම ලස්සනයි. :) :) :) :) :) ඔයා මෙක ලස්සන විදිහට ලස්සන නම් දාලා ලියලා තියනවා. මම අද තමයි මේ පැත්තට ආවේ.

    ReplyDelete
  14. තාම කල්පනා කරනවා.. මේක හැබැයි තව ටිකක් ලියන්න තිබ්බා.. මගේ හැගීම නම්.. නතර කරපු ඉක්මනෙත් වරදක් නෑ.. ලස්සනයි ප්‍රා නංගෝ කතාව..

    ReplyDelete
  15. ලස්සන කතාවක්... ජය වේවා..

    ReplyDelete

Back
to top