සොයුරු පෙමක අරුමය නුඹගෙන් විඳිමී



මවු පිය සෙනෙහස සයුරකි
නුඹ එහි එක් ඉවුරු තෙරකි
සොයුරු පෙමක මහා රුකකි
ඒ පාමුල මම පැළයකි...

සිතිජ ඉමේ හිරු නුඹමයි
චණ්ඩ නොවී එළිය බෙදයි,
ඒ සෙනෙහේ හිරු එළියෙන්
සුපිපෙන සියපත මමමයි,

මැණිකකි මම ඔබ ඒ ළඟ නා රජෙකි
දෙනෙත් පුරා සෙනෙහස උතුරා හැලුනී,
ගිමන් නිවන ගමනේ නැවතුම්පලකී
සොයුරු පෙමක අරුමය නුඹගෙන් විඳිමී...



මම මේ ලෝකෙට එන්නත් කලින් ඔයා පුංචිම පුංචි කොළු ගැටයෙක් කාලේ මට බැන්නළු හොඳටෝම... වෙන මොකක්වත් නිසා නෙවෙයි, මම ආවම ඔයාට අම්මවයි තාත්තවයි, ඔයා නිදාගන්න ඇඳයි මා එක්ක බෙදාගන්න වෙන නිසා... පුංචි කමට ඉරිසියාවට එහෙම කිව්වට මම මේ ලෝකේ එළිය දැකපු ගමන් අම්මා තාත්තාටත් කලින් උණුහුම වින්ඳෙ ඔයාගේ තුරුල්ලෙලු... ඒ නිසාම වෙන්න ඇති මම ඔයාගේ ඇතුලේ මගේ අම්මා තාත්තා දෙන්නවම දකින්නේ... අවුරුදු එකොළහකට මට වඩා වැඩිමල් වුන ඔයා, ටිකෙන් ටික මම ලොකු වෙද්දී මාව වඩාගෙන එහේ මෙහේ දිව්වේ මාව නලවගන්න ඕනේ නිසා... චූටි කාලේ ඔයා ආදරේට භාගයක් කාලා දෙන බිස්කට් එක මම අතට ගහලා බිම දානවලු, ඔයා මට සම්පූර්ණ බිස්කට් එකක් නොදුන්න නිසා... ඒ හැමදේම ඉවසගෙන ඔයා මට ආයෙමත් බිස්කට් එකක් දෙනවළු කන්න.ඒ තරම් ආදරයක් කොහෙන් ඔයා ඉගෙන ගත්තද කියලා මට නම් හිතාගන්නවත් බෑ මගේ අයියේ.

ටිකෙන් ටික කාලේ ගතවෙලා ගිහින් මම යන්තම් තේරෙන වයසට එද්දි ඔයා තරුණ කොල්ලෙක් වෙලා...මම අඩි දෙකක්වත් උසට නැතුව ඉද්දි උසට හිටපු ඔයාගේ අතකින් එල්ලිලා මම ගමන් බිමන් ගියේ පුදුම ආඩම්බරේකින්... මේ මගේ අයියා, එයා එක්ක ඉද්දි මම කාටවත් බය නෑ කියන්න වගෙයි මම ඒ වෙලාවට හැසිරුනේ... මම ලෙඩ වුන වෙලාවට ඔයාගේ උකුළේ මගේ ඔළුව තියාගෙන අත ගගා මාව සැනසුවේ තාත්තා කෙනෙක් වගේ... ගෙදර තාප්පෙන් එහා තිබුන දේවල් බලන්න මට තිබුනේ පුදුම ආසාවක්... එහෙම වෙලාවට ඔයා මාව ඔයාගේ අත් දෙකෙන් අල්ලලා උඩට උස්සනවා... මම ඇති කියනකන්ම එහෙම අල්ලගෙන ඉන්නවා.මාව අල්ලගෙන ඉන්නේ හරස් අතට නිසා හැමදෙයක්ම ඇල වෙලා පේන විදිය බලාගෙන ඉන්න මම ආසා කරා. ඔයා මාව උඩට උස්සද්දි දැනෙන පාවෙන හැඟීමටත් මම ආසා කරා. ඒ දේවල් වලින් මම කොච්චර සතුටක් වින්ඳද. අයියට ඒවා මටත් වඩා හොඳට මතක ඇති.

අම්මා මට බැන්නම, මම හූ තියලා අඬද්දී ඔයා මගේ ළඟට ඇවිත් අඬන්න එපා කිය කියා කඳුළු පිහිද්දි මම තවත් හයියෙන් ඇඬුවා මට මතකයි... ඒ ඔයාගේ ආදරේ මට මහා ගොඩාක් දැනුන නිසා... කාලයක් ගත වෙලා ඔයා ඔයාටම කියලා මුලින්ම මොටර් බයිසිකලයක් ගත්තම හා හා පුරා කියලා ඒකේ එක්කන් ගියෙත් මාව... ඔයාගේ මෝටර් බයික් එකේ නැගලා පන්ති යද්දිත් මම හිටියේ හරි ආඩම්භරෙන්. දවසක් එහෙම යද්දි පාර නොබලා පැන්න මනුස්සයෙක් නිසා ඔයාත් වැටිලා මගේ කකුලෙත් පුංචි සීරීමක් වුනා මට මතකයි... එවෙලේ ඔයා ඔයා ගැන බලන්නත් කලින් මගේ පුංචිම පුංචි සීරිම ගැන බැලුව හැටිත් ඒ මනුස්සයට මගේ තුවාලේ ගන කියලා බැන්න හැටිත් මට මතකයි. මගේ තුවාලේ අල්ලද්දි ඔයාගේ අත් දෙක වෙවුලපු හැටිත් මට හොඳටම මතකයි.

ඔයාගේ ඇස් වලින් එක කඳුලක්වත් ගලනවා මම කවදාවත්ම දැකලා තිබුනේ නෑ මොනම හේතුවකටවත්. ඒත් A/L කාලේ නොතේරුම් කමට මම කරපු පුංචි මෝඩ වැඩකට දුක හිතිලා ඔයා මගේ ඉස්සරහපිටම හොඳටම අඬපු හැටි මට මතකයි. මම කාට මුරණ්ඩුකම් පෙන්නුවත් ඔයා දෙයක් කිව්වම ඒක නොකර ඉන්න, අකීකරු වෙන්න තරම් මට හිත දෙන්නේ නෑ. ඔයත් මම කියන දේ අපේ පවුලේ වෙන කවුරු කියන දේ නෑහුවත් අහනවලු, ඒ මට තියෙන ආදරේ නිසාමලු. අපේ අම්මා කියන්නේ එහෙමයි.

මගේ අම්මට තාත්තාටත් වඩා මම ආදරේ කරන කෙනෙක් ඉන්නවා නම් ඒ ඔයයි අයියේ. ඔයාට තියෙන ආදරේ වචන වලින් නොකිව්වට, ඔයා එක්ක සමහර දවසකට වචන දහයකට වඩාවත් කථා නොකරට මගේ ලෝකේ වීරයා වුනේ ඔයා. අම්මා, තාත්තා ගෙදර නැති වෙලාවට මගේ අම්මා, තාත්තා දෙන්නම වෙන්නෙ ඔයා, පිට ගමනක් යද්දි මගේ ආරක්ෂකයා වෙන්නේ ඔයා. මගේ ජීවිතේ මම දැකපු සංවේදීම, ඒ වගේම ශක්තිමත්ම කෙනාත් ඔයා... ඉතින් ඔයාම කියන විදියට ඔයාගේ "පුංචි කෙල්ල" ඔයා ගැන ලියන්නේ අද ඔයාගේ ජීවිතේ වැදගත්ම දවසක් නිසා. අද ඔයාගේ උපන්දිනේ. මගේ අතින්ම හදපු කාඩ් එකක් දීලා තෑග්ගක් දුන්නත් හිතට මදි වගේ... ඉතින් මේ post එක ඔයා වෙනුවෙන්මයි මගේ අයියේ...

මගේ අයියට සුභම සුභ උපන්දිනයක්


CONVERSATION

23 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. ප්‍රාර්ථනා අක්කියාගෙ අයියාට, ඔන්න හිතූත් සුභ පැතුවා කියන්න හොද්ද?
    සුභම සුභ උපන් දිනයක් අයියේ!!!!


    චැහ්... මට අයියා කෙනෙක් නෑනෙ හෆ්ෆා.. මමත් ආසයි මටත් අයියෙක් උන්නානම්... එහෙනම් මම පොඩි එකී... අයියා ලොකු එකානෙ... :(

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගියා... ඔයාට ඉන්නේ ශෝක් මල්ලි පොඩ්ඩක් අනේ... එයා කොච්චර ශෝක්ද... :D

      Delete
  2. hondatoma අඩුනා මට. මටත් ඉන්නවා රත්තරන් අයියා මගේ තාත්තා වගේ අපිව බලාගන්න. අපි ගොඩාක් ආදරෙයි එයාට

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... අයියා කෙනෙක් ගොඩාක් වටිනව තමා නංගියෝ...

      Delete
  3. ලොකු නංගිගේ අයියට නිදුක් නිරෝගී වාසානාවන්ත සුබ අනාගතයක් පතනවා. සුබ උපන්දිනයක් ප්‍රාර්තනා නංගිගේ අයියේ :)

    ReplyDelete
    Replies
    1. ගොඩාක්ම ස්තුතියි ලොකු අයියේ... :D

      Delete
  4. අපේ නංගිටනං කවදාවත් ඔහොම කියන්න වෙන එකක් නෑ...
    කියන එකකුත් නෑ..

    ReplyDelete
  5. Replies
    1. පාටි නෑ අපේ අයියගෙන්.. :P මගෙන් තමා ඔයාට පාටි ඉල්ලගන්න වෙන්නේ ඕනේ නම්... :P :P

      Delete
  6. මට අයිය කෙනෙක් නෑ. ඒත් මේ සටහන නම් පුදුම විදිහට හිතට දැනුන. මටත් මේ වගේ සහෝදරයෙක් හිටියනම් කියල හිතුන.ඒ වගේ ආදරණීය සහෝදරයෙක්ගෙන් ලබන ආදරය, රැකවරණය වෙන කාගෙන්වත් ලබන්න බෑ....

    ප්‍රාර්ථනාගෙ අයියට සුභම සුභ උපන්දිනයක් වෙන්න කියල මාත් ප්‍රාර්ථනා කරනවා! :)

    ReplyDelete
  7. මේ සහෝදර සෙනෙහස හරිම අපූරුයි. ප්‍රාර්ථනා මෙහෙම අයියෙක් ලබන්න ඔබ හරිම වාසනාවන්තයි. මට අයියෙක් හිටියෙ නෑ, නමුත් ලොකු සහෝදරයින් වගේ හිටිය පවුලේ හිතවතුන් ගෙන් උපරිම ආදරයක් නම් මම ලැබුවා. ඒ අය මගේ ජීවිතේ හරි මඟ පෙන්වූවා. අදටත් සෙනෙහසින් ඉන්නවා එයාල. ඔයාගෙ අයියාට වාසනාවන්ත උපන්දිනයක් වේවා! කියල පතනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි මම ගොඩාක් වාසනාවන්තයි... ගොඩාක්ම ස්තූතියි සුභ පැතුමට...:)

      Delete
  8. අනේ මටත් අයිය කෙනෙක් හිටියනම්......‍

    හැබැයි මට අයිය කෙනෙක් නොහිටිය අඩුව දැනෙන්නේ නෑ.අයියෙක් වගේ මාව බලාගන්න මට ලොකු මල්ලියෙක් ඉන්නවා..පුංචි කාලේ මං එයාලව බලාගත්තට දැන් එයා මාව බලාගන්නවා.එයාගෙ තනියට තව චූටි මල්ලියෙකුත් ඉන්නවා.මමත් මගෙ හුරතලා ගැන Post1ක් දැම්ම ,ටික කාලෙකට කළින්...සහෝදර ප්රෙමය ගැන කියන්න වචන නෑ...

    ඔන්න මමත් ප්‍රාර්ථනාගෙ අයියණ්ඩිට සුභම සුභ උපන් දිනයක් කිව්වා කියන්න...

    ReplyDelete
    Replies
    1. මල්ලිලාත් ශෝක් තමා අක්කියෝ...අයියලා වගේම තමා...
      ස්තූතියි අක්කා...

      Delete
  9. සුභ උපන්දිනයක් ලොකු අයියේ

    ReplyDelete
  10. හැපි බර්ත්ඩේ කිව්වා ඈ.........

    ReplyDelete
  11. අයියට සුභ පැතුවා කියන්න.
    මොකක්ද ඔය කල වැරැද්ද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ... හම්මේ.. ඒක දිග කථාවක් අෆ්ෆා...

      Delete
  12. ඔන්න අපිත් සුභ පැතුවා කියන්න හ්ම්ම් :)

    ReplyDelete

Back
to top