෴ආකාශ නිම්නය෴ පළමු කොටස



උදේ පාන්දර ඉඳන් ධාරානිපාතෙට ඇදගෙන වැටෙන වැස්ස නිසා මම හිටියේ පුදුම සන්තෝසෙකින්. කැම්පස් එක පුරාවට වැටුන රොබරෝසියා මල් උඩට වැටෙන වතුර බිඳු ඒ මල් වල සුවඳත් අරගෙන ගලාගෙන යනවා වගෙයි මට දැනුනේ...පෙනහළු දෙක පිරෙන්න ඒ සුවඳ එක්ක හුස්මක් ඉහලට ඇදලා ගත්ත මම ටික වෙලාවකට මම ගැනම හිතුවා.උප්පැන්න සහතිකේ නම අනුව මෙත්යා ශේෂාද්‍රී වුනාට කැම්පස් එකේ හැමෝම මට කිව්වේ කූබිච්චි කියලා... අම්මා තාත්තා ආදරේට කිව්වේ වස්තුව කියලා. අයියා ආදරේට කිව්වේ බටු ඇටේ කියලා...හැමෝගෙම ආදරේ මැද හැදුන මට ජීවිතේ ගැන අත්දැකීම් මහා ගොඩාක් නැති වුනත් පොළවේ පය ගහලා ජීවත් වෙන්න තරමට දැනුමක් ලැබුනේ මගේ අම්මා තාත්තා නිසා...ඒ වගේම මම හැදුන පරිසරය නිසා...සරළ ජීවිතයක් තරම් වටින තවත් දෙයක් නෑ කියන මතයේ හිටපු මට එක එකා පෙරලගෙන දුවන මේ කැම්පස් ජීවිතේ අමුතුම ජීවිතයක් වුනා. පොතේ පතේ දැනුමට වඩා පරිසරය එක්ක ඉන්න මම ආස කලා. හුදකලාවට තනිකමට උවමනාවටත් වඩා මම ආදරේ කරනවා ඇත්තේ ඒ නිසාම වෙන්න ඇති. කල්පනාව දුර ගියා වැඩිද මන්දා... මම වාඩි වෙලා හිටි බංකුවේ කොණක ගුළි වුන බලු පැටියෙක් කන් පට ගහපු සද්දෙන් ආයෙමත් පියවි ලෝකෙට ආව මම වටපිට බැලුවේ මගේ පිස්සු යාළුවෝ කොහේද කියලා බලන්න.

"ඒයි මෝඩි, මොකක්ද ඔය වැස්සේ තෙමෙන්නේ.මෙහෙට එන්න. උඹ වැස්සේ තෙමිලා ලෙඩ හදාගත්තම අපිටමයි වදේ.මතකනේ එක පාරකුත් ඔහොම වැස්සේ තෙමිලා අන්තිමේ වෙවුල වෙවුල ගෙදර එක්කන් ගිහින් උඹ කුඩේ නැතුව එක්කන් ආවා කියලා ආන්ටිත් අපිට විහිළු කරා." පිණිදි එහෙම කිව්වේ මූණත් ඇඹුල් කරගෙන.

"කවුද බන් වැස්සේ තෙමෙන්නේ... මේ තියෙන්නේ කුඩේ මගේ අතේඋඹත් වෙලාවකට අපේ අම්මා වගේමයි. බර බරේ විතරයි.. අපේ අම්මට මම වැස්සේ යද්දි විතරක් නෙවෙයි අවුවේ යද්දිත් කුඩ ඉහලන්න ඕනේ... වැස්ස තව කමක් නෑ කියපන්, මේ ලාවට අවුව තියෙන වෙලාවෙත් කුඩේ නැතුව ඇවිදිනවා දැක්කොත් මට හොඳට බනින්න බලාගෙන අපේ අම්මා ඉන්නේ...උඹලත් ඉතින් ඒකටම හරි යනවා... මේ වැස්ස දැක්කම කාටද බන් තෙමෙන්නේ නැතුව ඉන්න හිතෙන්නේ... යාළුවන්ගේ කන්කරච්චලෙන් බේරෙන්න කුඩේ අතට අරන් එයාලා ඉන්න පැත්තට යන ගමන්ම මම කිව්වා...

කුඩේ අතේ තිබුනට උඹේ ඔළුව කුඩෙන් එළියෙනේ. නිකන් බොරුවට කුඩේ අල්ලන් ඉන්නවා විතරයි...ඔවු ඉතින් උඹට ඔය වගේ විකාර අදහසක් නාවොත් තමා පුදුමේ.අනිත් හැමෝම දුවන මහා  වැස්සේ උඹ තෙමෙනවා... අනිත් හැමෝම තෙමෙන හීන් පොද වැස්සේ උඹ දුවනවා. පිස්සු ,පිස්සු...හොඳටෝම පිස්සු... ශෙනාලිත් එහෙම කියලා මට ඇද කරා.

තෙමෙන එක වුනත් හරියට කරන්න ඕනේ බන්.හීනියට වැටෙන පොද තියෙන්නේ තෙමෙන්න නෙවෙයි, කුඩයක් ඉහලගෙන යන ගමන් රසවිඳින්න.ඒ වැස්ස හිතට දැනෙන්න ඕනේ දෙයක්...ඒත් මේ වගේ ධාරානිපාත වැස්සක් හිතින් වගේම ගතිනුත් විඳින්න ඕනේ.එතකොටයි ඒකේ ගතිය තියෙන්නේ.මට Kick එකක් එන්නේ අන්න ඒ වගේ උඹලා කරන්න බෑ , පිස්සුවක්, එහෙම නැත්නම් මෙතන ඒවා කරන්න හොඳ නෑ කියලා හිතන වැඩ කරාම. අපිට තියෙන්නේ එක ජීවිතයයි බන්.ඒක අනිත් එවුන්ට ඕනේ විදියට ගෙව්වම අපි නිකන්ම ෆොටෝ කොපියක් ගානට වැටෙනවා.ෆොටෝ කොපි නම් ඕනේ තැනකින් ගන්න පුළුවන්නේ බන්.

ඒක අහපු ගමන් ශෙනාලිගේ හිනාව සද්දෙන්ම එළියට පැන්නා..

"අනේ ඉතින්, උඹ හිතන විදිය තේරුම් ගන්න තරම් අපි පණ්ඩිතයෝ නෙවෙයිනේ බන්.ඔන්න අපේ කටවල් zipped. කොහොම වුනත් උඹ හිතන විදියට නම් මම මාරම ආසයි බන්.උඹ වගේ  Easy going, relaxed  චරිතයක් මේ වගේ කැම්පස් එකක හොයාගන්න හරි අමාරුයි.එකා එකා පාගලා උඩ නගින්න හදන සමාජෙක ඒ වගේ නොහිතා ඉන්න උඹ පුරුදු වුනේ කොහොමද මන්දා.උඹ කියන ඒවා අහන් ඉන්න එක තව හොඳයි කොහොමත් මේ වැස්සට වඩා.කුඩෙත් ඉහලගෙන මේ වැස්සේ ඇවිදින එක තරම් එපා කරපු දෙයක් තවත් නෑ. ශික් බලපන් මේ මඩ වතුර නිසා කකුල් ගන්න දෙයක් නෑ.

ශෙනාලි වැස්සට බනිද්දි මම කරේ හොඳට වතුර පිරුන මඩ වලක් බලලා ඒකට පනින එක.සීතල වතුර කකුල් දෙක තෙමාගෙන යද්දි ආයෙමත් පාරක් වතුර වලේ තිබුන වතුර ටිකක් කකුලෙන් ඈතට වීසි කරේ දැනිච්ච සතුට නිසාමයි.

"ඒයි මඩකරියා..නිකන් ඉඳපන් අපිවත් නාවන්නේ නැතුව...ඔයා නම් හැදන එක්කෙනෙක් නෙවෙයි අනේ... පිස්සි... පිණිදි එහෙම කියන ගමන්ම සෙල්ලමට වගේ මාව එහාට තල්ලු කරා.

හරි හරි උඹලා නෝනලා වගේ ඉන්නනේ ආසා.එහෙම ඉඳපන් එහෙනම් මගේ ජොලියට අකුල් හෙලන්නේ නැතුව.මැට්ටියෝ ඩබල..."එහෙම කියාගෙනම මම දුවගෙන ගියේ කැම්පස් එකේ ඇතුල් වෙන ගේට්ටුවෙන් එළියට.

ඒයි මැට්ටි පොඩ්ඩක් වට පිට බලන්න

පිණිදි එහෙම කියද්දි මම පරක්කු වැඩියි."ඩග්"ගාලා සද්දෙකුත් එක්ක මම ගිහින් කාගෙදෝ ඇඟේ හැපුනේ හරියටම ගේට්ටුව ගාව තියෙන මහා රූස්ස ගහ ගාවදිමයි.ඇඟේ හැපුන කෙනයි මමයි දෙන්නම නොවැටි බේරුනේ එහා පැත්තේ තිබුන යකඩ වැට නිසා...

"අයියෝ" පිණිදියි ශෙනාලියි එක පාරට කෑ ගහන සද්දෙන් මම ආයෙමත් පියවි ලෝකෙට ආවා.

ඇගේ හැපුන කෙනා කවුරු වුනත් මාර ලැජ්ජාවක් වුනේ.ඒත් ඉතින් මොනවා කරන්නද? එයත් දැනගෙන එන්න එපාය පාර බලාගෙන එන්න.මේ වැස්ස දවස් වල අහක බලාගෙන යනවට මටත් හොඳ පාඩම.එහෙම හිත හිතම ටක් ගාලා එයාගේ මූණ බැලුවේ සමාව ඉල්ලන්නත් හිතාගෙන.

මළා..මම හිතුවේ අංකල් කෙනෙක් කියලා.බලාගෙන යද්දි මෙයා කොල්ලෙක්නේ.ඒ බව දැක්කම ලැජ්ජාවටම මම පිණිදියි ශෙනාලියි දිහා බැලුවා.ඒ දෙන්නම අතින් කට වහගෙන හිනාවෙනවා.

"අනේ මෙහෙමත් යාළුවෝ.කමක් නෑ සොරි කියනවා."එහෙම හිතාගෙන එයාගේ මූණ බලද්දි මෙන්න එයත් හොඳටම හිනා වෙනවා...

මම ආයෙමත් මගේ දිහාම හොඳට බැලුවේ මේ තුන් දෙනාම හිනාවෙන්නේ මගේ පෙනුමේ මොකක්වත් අවුලක් නිසාද කියලා බලන්න.

ම්හ්ම්... කිසිම අවුලක් නම් නෑ...අත ටිකක් හීරිලා විතරයි...මේ මොන විකාරයක්ද?.තුන් දෙනාම හිනාව නවත්තගන්නකන් මම කරේ තුන් දෙනාම දිහා මාරුවෙන් මාරුවට බලන එක...

මම තරහෙන් පුපුරන්න ඔන්න මෙන්න තියෙද්දි පිණිදියි ශෙනාලියි හිනාව නවත්තගත්තේ මගේ හැටි දන්න නිසා.

ඒත් මොන... අර මෝඩයා තාමත් හිනා වෙනවා...

"මොකද බන් මේ මෙයා හිනා වෙන්නේ" මම තරහටම පිණිදිගෙන් ඇහුවේ එයාටත් ඇහෙන්න එක්ක...

ඒ අතරේම මම හෙමින් සැරේ මගේ ඇඟේ හැපුන මේ පිස්සු අමුත්තගේ හැඩ රුව බලාගත්තේ නිකමට වගේ.

හිනාවෙන්නේ නම් අහිංසකයෙක් වගේ.ඒ හිනාව නිසා කම්මුලේ කොණක් වල ගැහිලා.අවුල් වෙලා මූණට වැටුන කඩා හැලෙන කොන්ඩේ නිසා එයාට ලැබිලා තිබුනේ හිතුවක්කාර පෙනුමක්.එච්චරම උසක් නැති වුනත් උසට හරියන්නම මහත නිසා එයාට තිබුනේ කඩවසම් පෙනුමක්...

නතර නොවෙන හිනාව නිසාම මම රවාගෙන බලාගෙන ඉද්දි එයා ටික ටික මම ඉන්න පැත්තට එද්දි බය හිතුනත් චණ්ඩියා වගේ හිටියේ බැන්නොත් බනින්න හිතාගෙන.

"ඔයා...ගේ... නාහේ..."කියලා හිනාව අතරෙන් එයා බොහොමඅමාරුවෙන් වචන ගලපගත්තට අන්තිමේ තද කරගෙන හිටපු හිනාව එළියට පැන්නා.

ඒ අතරේ එක පාරට මගේ අතේ තිබුන ලේන්සුව උදුරලා අරගෙන හිනාවෙන ගමන්ම මගේ නාහේ උඩ පිහිදැම්මේ මොකද මන්දා.

 “මචං වරෙන් යන්න, අරූ අතන බලාගෙන ඇති..එහා ඉඳන් මේ හැමදේම බලාගෙන හිටපු  එයාගේ යාළුවා එයාව ඇදගෙන යද්දි පිණිදියි ශෙනාලියි මාවත් ඇඳගෙන ගියේ මගේ මූඩ් එක අවුල් වුන බව තේරුන නිසා වෙන්න ඇති.

මොකක්ද බන් අර කරපු වැඩේ, මගේ ලේන්සුවෙන් මගේම නාහේ පිහදැම්මේ, උඹලත් කිචි බිචි ගගා බලන් හිටියා මිසක් මගේ පැත්තට වචනයක්වත් කථා කරාද? හිතට ආපු තරහා නිසාම මම ශෙනාලිටයි පිණිදිටයි බැනගෙන බැනගෙන ගියා.

ආයෙමත් ඒ දෙන්නම හයියෙන් හිනා වෙන්න ගත්තේ අපි ඉන්නේ පාරේ බවවත් මතක නැතුව වගේ.

"ඔයාගේ නාහේ උඩ ලොකුම ලොකු මඩ පැල්ලමක්... කොහෙන් ගෑවිලාද මන්දා. ඒත් ඒක දැක්කම කාටද බන් හිනා නොයන්නේ.උඹත් පුස් කැවුමක් වගේ මූණත් පුළුටු කරගෙන ඒ අතරේ නහයේ අලි මඩ පැල්ලමක්...

ඒක ඇහුවම ලැජ්ජාවක් ආවත් ලැජ්ජාව නොපෙන්නා මම තරහා මූණක් මවාගත්තා.

උඹලා දෙන්නටත් ලස්සන කොල්ලෙක් පනාව දැම්ම ගමන් ඉවරයිනේ.මාවත් මතක නෑ...."

තරහටම එහෙම කිව්වත් මම මගේම වල කපාගත්තා නේද කියලා මට හිතුනේ ශෙනාලි නෝන්ඩියට හිනාවෙන්න ගත්තම.

"ආහ්.... ඔය කියන්නේ... දැන් කවුද කිව්වේ එයා ලස්සනයි කියලා.උඹත් මෙතන එයාට රව රවා එයාගේ හැඩරුවත් බලාගෙනනේ. කොල්ලා නම් ලස්සනයි තමා.. බලපන්...හින්දි ෆිල්ම් එකක මුල කොටස අපි ටිකට් නැතුවම මෙතන බලාගන්න තරම් වාසනාවන්ත වුනා.උඹ ඒ හින්දි ෆිල්ම් එකේ ප්‍රධාන චරිතේ වෙන්න තරම් වාසනාවන්ත වුනා. නරක නෑ කෙල්ලේ වැඩේ."

"අනේ ඉතින් මෙහෙම යාළුවො... ආ මේ ඒක නෙවෙයි... අරය මොකද මගේ දිහා කන්න වගේ බලන් හිටියේ. හෙන පැණියෙක්ද කොහෙද"

උඹටත් වැරදිලා තියෙවි ඒ වගේ කොල්ලෙක් කන්න වගේ බලාගෙන හිටියම... බස් එකේ වගේ එහෙම කොල්ලෙක් දැක්කා නම් උඹ ඌ දිහා බලන්නේ නැද්ද..ඇත්තම කියපන්.ඒ කොල්ලා අර උඹ අම්මට ගැලවීමට මවාපාලා ඉන්න උඹේ හීන කුමාරයා වගේමයි.

කඩාහැලෙන straight කොණ්ඩේ, උසට හරියන මහත, සරළ චාම් කොල්ලෙක්... හිතලා බලපන් එහෙම නෙවෙයිද කියලා.

 “හරි තවත් ලෙඩක්... පුළුවන් නම් ගිහින් අපේ අම්මට කියපන් ඔන්න අද මගේ හීන කුමාරයා හම්බ වුනා කියලා.උඹලට නම් පිස්සු.මම යනවා යන්න. එනවද නැද්ද.

තරහයි ලැජ්ජාවයි දෙකම නිසා මම එහෙම අහගෙනම පාර පනින්න ගියා...

"හපෝ... මේකිගේ ගෑස්.මොකද අද මෙච්චර තරහා ගියේ.වෙනදට උඹමයි කොල්ලෝ දිහා බලලා අපිව බයිට් කරන්නේ..අපි ඉඳලා හිටලා උඹව බයිට් කරද්දි ඒකට මල පනිනවනේ. හා හා කමක් නෑ... යමු යමු...
එහෙම කියලා පිණිදි ඉක්මන් ගමනින් ඇවිත් මගේ අතින් අල්ලගත්තා.

*************************************************************************
බස් එකේ යන ගමනුත් මගේ යාළුවෝ දෙන්නගේ එකම මාතෘකාව වුනේ මගේ ඇඟේ හැපුන කොල්ලා. හරි ලස්සනයි.හරි කියුට්.තව ගොඩාක් දේවල්.ඇත්තට ඇයි මට විතරක් ඒ කොල්ලව පැණියෙක් වගේ පේන්නේ... පිට පෙනුමෙන් මිනිස්සු මනින්න බෑ කිය කියා මට දේශනා දෙන ශෙනාලිත් අද කථාව එයා ගැන...

"උඹලා ඕනේවට වඩා හින්දි ෆිල්ම් බලලා ඔළුව කුරෝළු කරගෙන.ඒක අත් වැරදීමක්.එක පාරක් ඇඟේ හැපුන පලියට ඔය කොල්ලා උඹලා දෙන්නාවත් මා එක්කවත් යාළු වෙන්න එන්නේ නෑ හින්දි ෆිල්ම් වල වගේ.ඒ නිසා දැන්වත් වෙන දෙයක් ගැන කථා කරමු බන්." ඉවසගෙන ඉඳලා ඉඳලා බැරිම තැන මම එහෙම කිව්ව.

ආවොත් උඹ එපා කියයි. උඹ එපා කිව්වත් මම නම් එපා කියන්නේ නෑ.” ශෙනාලි එහෙම කියලා ඇහැක් ගහලා හිනාවුනේ මාවත් හිනාගස්සන ගමන්.


මම එපා කියනවා තමා.එක දවසින් දැක්ක ගමන් ආදරේ ඇති වෙනවා කියන්නේ මහා බොරුවක්.මම නම් කොහොමත් එහෙම ආදරේ කරන්නේ නෑ.අවුරුදු ගානක් අඳුරගෙන ඉන්න කොල්ලෙක් නම් අවුලක් නෑ. ඒත් අවාසනාව කියන්නේ  එහෙම කොල්ලෙක් හොයාගන්නවත් නෑනේ.එහෙම හිටියත් උන්ගෙත් මොකක් හරි පරහක් තියෙනවා. එක්කෝ කෙල්ලෙක් ඉන්නවා. එක්කෝ බූට් කාලා.අර සචිත් දන්නවා නේ? පොරත් එහෙමනේ. බලපන් මගේ චාන්ස් එක කොහේවත් යන කෙල්ලෙක් ගත්තනේ මට කලින්.
මම එහෙම කිව්වේ මගේ එහේ මෙහේ දුවන හිත නතර වුන එක තැනක් ගැන.

"උඹ ඔය ආදරේ කියලා හිතන් ඉන්න දේ ආදරේ නෙවෙයි මෙතූ, උඹ අවංකව ආදරේ විඳලාවත්, ආදරේ කරලාවත් නෑ තාම.උඹ ආදරේ ගැන දන්නේ දෙන්නෙක් අතරේ තියෙන ආකර්ශනයක් විදියට, attraction කියන දේ කාලයත් එක්ක fade වෙනව මෙතූ.ඒත් ඇත්ත ආදරේ එහෙම නෑ.උඹ හැම වෙලේම මොකෙක් හරි කොල්ලෙක් අල්ලගෙන මම එයාට කැමතියි කිව්වට උඹ කවදාවත් ඒ කා එක්කවත් කසාද බඳින්නවත් affair එකක් හදාගන්නවත් හිතලා නෑ නේද.උඹට තියෙන්නේ හෙන serious  හදවතක්.. ඕක කෙනෙක්ට ගිය දවසට ආයේ ඒ කෙනාගෙන් උඹව ඈත් කරන එක බොරු..” පිණිදි එහෙම කිව්වම මම මගේ ගැනම හිතුවා.

"අනේ මේ උඹලගේ ඔය පණ්ඩිත කථා නම් මට තේරෙන්නේ නෑ.හැබැයි අර කිව්ව කථාව නම් ඇත්ත තමා.මට සචිත් වෙන කෙනෙක්ගේ වුනා කියලා කිසි දුකක් නෑ.ඌ මගේ වුනා නම් මට කිසිම හැඟීමක් දැනෙන එකකුත් නෑ.බලන් යද්දි උඹලත් ඉඳලා ඉඳලා මොලේ ඇති කථාවක් දෙකක් කියනවනේ.ඒ මොනවා වුනත් මට නම් කොල්ලෝ එපා.අරක කරපන්, මේක කරපන්, අරම ඇඳපන්, මෙහෙම ඇඳපන් කියලා කියද්දි ඕව කරන්න මට බෑ.ඊටත් බලපන් මේ ජීවිතේ කොච්චර ශෝක්ද,නේද?

"උඹගේ ඔක්කොම හොඳයි ඔන්න ඔය දේ නැතුව.උඹට ආදරේ කියන දේ තරම් නොදැනෙන විශයක් තවත් නෑ. ඔය ලස්සන වචන, කවි කොච්චර ලිව්වත් උඹ ආදරේ ගැන නොහිතන්නේ ඇයි කියන දේ මට තේරෙන්නේ නෑ.ඇත්තමයි මෙතූ උඹ මහා පුදුම චරිතයක්.

හරි හරි... එවා දැන් වැඩක් නෑ.මම ඔය කොල්ලෝ කියන ජාතිය විස්වාස කරන්නේ නෑ. බොරුවට මගේ පණේ, රත්තරනේ කියාගෙන ආවට අන්තිමේ යන යකා යන්නේ කොරහත් බිඳගෙන.ආදරේ කියන වචනෙත් එහෙමයි. එක කොල්ලෙක්ට ආදරේ දෙනවා කියන්නෙත් මහා විකාරයක්...කොල්ලෝ කවුරුවත් ඔහොම සීරියස් නෑ.ඒක තමා ඇත්ත.ඉතින් ඇයි අපි එහෙම සීරියස් නැති කොල්ලෙක් වෙනුවෙන් අපේ ජීවිතේම අඬන්නයි වැලපෙන්නයි හදන්නේ.මට නම් තේරුම් ගන්න බැරි අන්න ඒ දේ.

දැන් ඇති නේද මේවා ගැන කථා කරා.කොහේවත් ඉඳලා ඇවිත් මගේ ඇඟේ හැපුන කොල්ලෙක් නිසා අපි ගිය දුරක් ඔළුවත් රිදෙනවා ඕවා ගැන හිතද්දි. මම එහෙම කිව්වේ ඇත්තටම මට ඒ ගැන කථා කරන එක එපාම වුන නිසා.

අන්න ඕක නම් හිතන්න ඕනේ දෙයක්, උඹ වෙනදට මේවා හිතද්දි ඔච්චර serious ගත්තේ නෑ.ඒත් අද ඒක වෙනස් වගේ.මොකෝ මල් සරා එක පාරින් විදලද.වැඩක් නෑ කෙල්ලේ ඒ කොල්ලා නම් ආයේ දකින්නවත් වෙන එකක් නෑ.” ශෙනාලි එහෙම කිව්වම මට ආයෙමත් තරහා ගියේ මේ විහිළුව දුර දිග ගියා හොඳටම වැඩි නිසා..

"අනේ මේ...ඔයාලා ඕනේ දෙයක් හිතාගන්න. පොඩ්ඩක් කට වහගෙන යනවකෝ හලො. ඔය කොල්ලා ගැන කථාව දැන් හොඳටම ඇති."

ආදරේට උඹ තාම පොඩි එකෙක්.එච්චරයි මම අන්තිමට කියන්නේ. කථාව ඉවරයී...මේ ඒක නෙවෙයි මේ office ඉවර වෙන වෙලාවනේ.ගති කොල්ලෝ ටිකක් නම් ඇති...නේද පිණි... “ ශෙනාලි කිව්වත් මම හිටියේ ඒ කිසි දෙයක් නෑහුන ගානට...

ඔනේ කෙනෙක්ව බලාගනින්.මට ඕනේ නෑ.එකෙක් දිහා බලලා ඇති අදදවසටම අහගත්තා..

එහෙම කියලා මම ජනේලෙන් එළිය බලාගත්තේ ටිකක් නිවී සැනසිල්ලේ යන්න හිතාගෙන.

ලෝක පුදුමයක්...

ශෙනාලි එහෙම කියලා ආයෙමත් විහිළු කරන්න පටන් ගත්තත් මම රවපු නිසා තවත් මුකුත් නොකියා අහක බලාගත්තේ මගේ හැටි දන්න නිසා.

CONVERSATION

10 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. //හිනාවෙන්නේ නම් අහිංසකයෙක් වගේ.ඒ හිනාව නිසා කම්මුලේ කොණක් වල ගැහිලා.අවුල් වෙලා මූණට වැටුන කඩා හැලෙන කොන්ඩේ නිසා එයාට ලැබිලා තිබුනේ හිතුවක්කාර පෙනුමක්.// මෙයාවනම් ගැලපෙන්නෙ මටම තමා... ;) ඔන්න කලින්ම කිව්වා...

    කතාවනම් මරේ මරු අක්කි!! චිත්තරූප මවාගෙන මම කියෝගෙන ගියේ එක හුස්මට.... මංදා.., මෙත්යා ගෙ චරිතෙ ඇතුලෙ මම මොහොතකට ජීවත් වුනා..

    ලස්සන කතාවක් විවි මෙක ඉස්සරහට... ආදරේ උතුරන. :*

    ReplyDelete
  2. ඈ...කතාවක්....එල එල

    ReplyDelete
  3. ඔබේ සුපිරි බව යළිත් කරළියට ගෙනන අපුර්ව උත්සාහයක් සොයුරිය.

    ReplyDelete
  4. :D මායි මෙත්යා ශේෂාද්‍රි නිකන් එක්කෙනෙක් වගේ අක්කි..

    ReplyDelete
  5. හේ හේ මම නම් මෙත්යා ශේෂාද්‍රිට වඩා සපුරා වෙනස්ය..))) ඒ වුණත් කතාව නම් නැගලාම යයි වගේ..! දිගටම ලියන්න අක්කි.තුහින වර්ෂාත් නියමෙටම ඉවර වුණානෙ-මොකද මට මහින්ව හම්බ වුණානෙ!

    ReplyDelete
  6. ආයෙත් සරසවියක ආදර කතාවක් ඇවිත් වගේ .. එල එල :)

    ReplyDelete
  7. ආකාශ නිම්නයේ තෙරක් නොපෙනන දුරක, නිදහසේ තටු ලැබ පියඹන විහඟිකාවකගේ හැඟීම් ආදර සිත්තමකට ලපන ආරම්භයක මුල් පිටුව සරසවිබිමක හෙවැලිය යටින් ඇ‍ෙඳෙන සිතුවමක් වගේ..මේ නිර්මාණාත්මක ප්‍රවේශය ලස්සනයි.

    ReplyDelete
  8. හ්ම්.... කැම්පස් ආදරේ... ඒත් ලස්සනට ලියලා තියෙනවා. ලියන්න ලියන්න.. දිගටම මම කියවන්න එනවා..

    ReplyDelete
  9. පළවෙනි කොටසෙම හැමදාම වගෙ හාස්‍ය මිශ්‍ර කරලා කථාවෙ තියෙන චරිතවල් හඳුනා දීමෙන් සිත් අදිනා රස බර නව කථාවකට අඩිතාලම දාලා තියන ප්‍රාර්ථනාගෙ ලේඛන රථාව ඉතාමත්ම ඉහලයි!

    ReplyDelete

Back
to top